ක්‍රිකට්වලට පංච පුද්ගල කළමනාකරණ කමිටුවක්

ක්‍රිකට් නිලවරණය පවත්වන තුරු පංච පුද්ගල කළමනාකරණ කමිටුවක් පත් කෙරේ..

by Staff writer 02-04-2021 | 8:37 PM

COLOMBO (News 1st) –  තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සඳහා කළමනාකරණ කමිටුවක් පත් කරනු ලැබ තිබේ.

ඒ, අතිවිශේෂ ගැසට් පත්‍රයකින් ය. 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39 - (1) වගන්තිය යටතේ තමා වෙත පවරා ඇති බලතල ප්‍රකාරව මෙම කළමනාකරණ කමිටුව පත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන්ය. කමිටුවේ සභාපතිවරයා මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතායි. ඈෂ්ලි ද සිල්වා මහතා ලේකම් ධුරයටත්, සුජීව මුදලිගේ මහතා භාණ්ඩාගාරික ධුරයටත් පත් කර තිබේ. නීතිඥ උචිත වික්‍රමසිංහ මහතා කමිටුවේ සාමාජිකයෙකු වන අතර, අමල් එදිරිසූරිය මහතා එහි නිරීක්ෂකයෙකි. මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ නිලධරයන්ගේ නිල කාලය 2021 අප්‍රේල් මස 05 වැනිදා අවසන් වන බැවින් 2021 අප්‍රේල් මස 06 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම කමිටුව පත් කළ බවත් ගැසට් නිවේදනයේ සඳහන් ය. 2021 මැයි මස 20 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු කරගෙන යෑම සඳහා මෙම කමිටුව පත් කළ බවද එහි දැක්වේ. මේ අතර 2021 මැයි මස 20 වැනි දින දක්වා සැලසුම් කර ඇති සංවර්ධන කාර්යයන් සඳහා පමණක් වන වියදම් සහ අත්‍යාවශ්‍ය පරිපාලනමය වියදම් හැර වෙනත් කිසිදු වියදමක් දැරීමට කමිටුවට බලය නොමැති බවත්, එවැනි අවශ්‍යතාවයක් වේ නම්, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාගේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගත යුතු බවත් සඳහන් ය. මේ අතර 2021 පෙබරවාරි මස 17 වැනි බදාදා අමාත්‍යවරයා විශේෂ ගැසට් නිවේදනයකින් දක්වා ඇත්තේ, 2019- 2021 වර්ෂ සඳහා නිලවරණයෙන් පත්වූ විධායක කමිටුවේ නිල කාලය අප්‍රේල් මස 05 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි දීර්ඝ කර ඇති බවය. වර්තමාන ක්‍රිකට් පරිපාලන කමිටුව නීත්‍යානුකූල නොවන බව පවසමින් කෝල්ට්ස් ක්‍රිකට් සමාජය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපි‍යක් යොමු කළ අතර, පසුව අමාත්‍යවරයා නීති උපදෙස් ලබා ගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමු කළේ ය. නීතිපතිවරයා දැන්වූයේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වත්මන් පරිපාලන කටයුතු සඳහා කළමනාකරණ කමිටුවක් පත් කරන ලෙසය.