විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක්

විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව ලබන සඳුදා පාර්ලිමේන්තුවට

by Staff writer 01-04-2021 | 6:10 PM

COLOMBO (News 1st) - පවතින මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීතිරීතිවල අඩුපාඩු හඳුනා ගැනීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව ලබන සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

අදාළ යෝජනාව ඉදිරිපත් කළේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි. එම යෝජනාව සඳුදා පස්වරුවේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. අදාල පාර්ලිමේන්තු කාරක සභාව සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විතය. කතානායකවරයා තේරීම් කාරක සභාව පත් කර මාස 6 ක් ඇතුළත නිර්දේශ ඉදිරිපත් කළ යුතු වේ. එම කාරක සභාවේ කාර්යභාරය වන්නේ පවතින මැතිවරණ ව්‍යුහයේ හා නීතිරීතිවල අඩුපාඩු හඳුනා ගැනීම සහ ඒ සම්බන්ධයෙන් වන සංශෝධන නිර්දේශ කිරීමයි.