by Staff writer 01-04-2021 | 10:09 PM
COLOMBO (News 1st) - කොරෝනා එන්නත්කරණ ක්‍රියාවළිය ඊයේ සිට අත්හිටවූ බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
ඇය පැවසුවේ, ඉන්දියාව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් අපනයනය තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් මෙම තත්ත්වය මතු වූ බවයි.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ශ්‍රී ලංකාවට නැවත ලබා ගැනීමට මෙම මසයේ අග වනවිට හැකිවනු අතැයි අපේක්ෂා කරන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා ය.
කෙසේවෙතත් ජනවාරී 29 දා සිට එන්නත් ලබාගත් අය සඳහා දෙවනි මාත්‍රාව ලබාදීමට මාත්‍රා දෙලක්ෂ තිස්දහසක් පමණ ඉතිකරගෙන තිබෙන බව ඇය කියා සිටියා ය.
මේ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබා ගැනීම සඳහා ඉන්දියාවේ සීරම් ආයතනයෙන් කළ විමසීම්වලට මෙතක් ප්‍රතිචාර දක්වා නැතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.
එන්නත් දොලස් ලක්ෂ 64 දහසක් මෙරටට ගෙන්වා තිබූ අතර ඉන් ලක්ෂ 9 කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට භාවිතා කර අවසන් ය.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගෙන ඒම සඳහා මෙරට බලය ලත් නියෝජිතයා වන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි.
ඔවුන් එන්නත් ලක්ෂ 15 ක් ලබා ගැනීම සඳහා ඉන්දියාවේ සීරම් ආයතනය සමග ගිවිසුම්ගතව ගෙවීම් ද සිදු කර තිබේ.
ඉන් මෙතෙක් ලැබී ඇත්තේ, එන්නත් ලක්ෂ 05 ක් පමණක් වන අතර පසුගිය මාසය තුළ තවත් එන්නත් ලක්ෂ 5 ක් ගෙන ඒමට නියමිතව තිබුණි.
එහෙත් එම එන්නත් මෙතෙක් ලැබී නැත.
මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා 70 ලක්ෂයක් මිලදී ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගිවිසුම් ගත විය.
එහි සාමාන්‍යාධිකාරි දිනුෂ දසනායක මහතා සඳහන් කළේ , එන්නත් මිලදී ගැනීමට අදාල ගිවිසුමට ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සහ ස්පුට්නික් එන්නත නිපදවන රුසියාවේ ගැමීලියා ආයතනයේ නියෝජිතයන් ඊයේ අත්සන් කළ බවයි.
එම ගිවිසුම අනුව ස්පුට්නික් එන්නත් තොගයේ පළමු කොටස ලබන මස මැද මෙරටට ලැබීමට නියමිතය.