ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවයක් ඇති කිරීම සඳහා එක්ව කටයුතු කරනවා - චීන ජනපති කියයි

by Staff writer 31-03-2021 | 9:36 PM

COLOMBO (News 1st) - එක් තීරයක් - එක් මාවතක් ව්‍යාපෘතිය කාර්යක්ෂම කිරීම තුළින් වසංගත තත්ත්වයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවයක් ඇති කිරීම සඳහා එක්ව කටයුතු කරන බව චීන ජනාධිපති ෂී ජින් පින්ග් මහතා ජනාධිපති ගෝඨාභයට රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.

පසුගිය සඳුදා දෙරට නායකයින් දුරකතනයෙන් කළ සාකච්ඡාව පිළිබඳව තොරතුරු වාර්තා කළ චීනයේ සී.ජී.ටී.එන්. වෙබ් අඩවිය මේ බව අනාවරණය කර තිබුණි. සී.ජී.ටී.එන්. වෙබ් අඩවිය පවසන්නේ, ශ්‍රී ලංකාවට ගුවන්, අධ්‍යාපන සහ හැකියාව ඇති අනෙකුත් අංශවලට අත්‍යවශ්‍ය සහය අඛණ්ඩව ලබාදෙන බව චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ චීනයට නීත්‍යානුකූල අසුනක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව දුන් සහය කිසිදා අමතක නොකරන බව ද ජනාධිපති ෂී.ජින්.පින්ග් මහතා අවධාරණය කර තිබේ. ඔහු පෙන්වා දී ඇත්තේ, ගෝලීය සාධාරණත්වය සහ නීත්‍යානුකූල අයිතීන් ආරක්ෂා කිරීම සඳහා අනෝන්‍ය වශයෙන් වැදගත්වන කරුණු සම්බන්ධව ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව කටයුතු කරන බවය. මේ අතර කොළඹ වරාය නගරය හා හම්බන්තොට වරාය ව්‍යපෘති කඩිනමින් නිමවනු දැකීම තම අපේක්ෂාව බව ද චීන ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී සඳහන් කළ බව මෙරට ජනාධිපති කාර්යාලය සඳුදා නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.