කඩු ආනයනය විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් 2ක්

කඩු 6000ක් ආනයනය කිරීමේ සිද්ධිය විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක්

by Staff writer 31-03-2021 | 3:29 PM

COLOMBO (News 1st) - කඩු 6000ක් මෙරටට ආනයනය කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායම් 2ක් යොදවා ඇති බව නීතිපතිවරයා අද අභියචානාධිකරණයට දැනුම් දුන්නේය.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ඒ සම්බන්ධයෙන් ගොනු කළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය පැවසුවේ පොලිස්පතිවරයා ලිඛිතව මේ බව දැනුම් දී ඇති බවය. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ තැප්‍රොබේන් ආපන ශාලාවේදී 2019 අප්‍රේල් 21 වැනිදා මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගත් මොහොමඩ් ඉන්සාෆ් නැමැත්තාගේ අවශ්‍යතාව අනුව මෙම කඩු ආනයනය කර ඇති බව අභියාචනාධිකරණය හමුවට ගොනු කළ නඩුවේ සඳහන් වේ. ඒ අනුව, එම නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අධිකරණයට දැනුවත් කිරීම සඳහා එම නඩුව යළි මැයි 06 වැනිදා කැඳවීමට අභියානාධිකරණයේ සභාපති අර්ජුන ඔබේසේකර හා මායාදුන්නේ කොරයා යන විනිසුරුවරුන් නියෝග කළේය.