වියට්නාම තානාපතිනිය ජනපති වෙත අක්තපත්‍ර භාරදෙයි

වියට්නාම තානාපතිනිය ජනපති වෙත අක්තපත්‍ර භාරදෙයි

by Staff writer 30-03-2021 | 4:37 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට අලුතින් පත් කරනු ලැබ සිටින, වියට්නාම් සමාජවාදී ජනරජයේ තානාපතිනී හෝ තී තාන් ටෘක් මහත්මිය (Ho Thi Thanh Truc) අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍රය පිළිගන්වනු ලැබුවා ය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා සහ නව වියට්නාම් තානාපතිනිය වත්මන් ද්විපාර්ශ්වික සබඳතා සහ අනාගත සහයෝගීතා වර්ධනය පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි. සිය රට මුහුණ පා සිටි දුෂ්කර අවධියේ දී ශ්‍රී ලංකාවෙන් ලැබුණු සහයෝගය පිළිබඳව ද වියට්නාම් තානාපතිනි සිය ප්‍රශංසාව පළ කර සිටියා ය. තම ධූර කාලය තුළ දෙරට අතර සහයෝගීතාව සහ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි සෑම දෙයක්ම කරන බව තානාපතිනිය එම හමුවේදී ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකා ආර්ථිකයේ පවත්නා ආයෝජන ඉඩ ප්‍රස්ථා හඳුනාගෙන ඉන් ප්‍රයෝජන ගන්නැයි ද වියට්නාමයෙන් ජනාධිපතිවරයා ඉල්ලීමක් කර ඇත. ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ, දෙරට අතර වෙළෙඳාම සහ සංචාරක ව්‍යාපාරය තවදුරටත් වර්ධනය කළ හැකි බවයි. ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා වියට්නාම් ව්‍යාපාරිකයන් දිරි ගැන්වීමටත්, වෙළෙඳ හා සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයටත් ඉහළ ප්‍රමුඛත්වයක් දෙන බවට වියට්නාම් තානාපතිනිය එම හමුවේදී ජනාධිපතිවරයාට සහතික වී තිබේ.