by Sagarika Chathumali 30-03-2021 | 12:55 PM
COLOMBO (News 1st) : පෝට් සිටි හෙවත් වරාය නගරය වෙනම පාලක මණ්ඩලයක් යටතේ පැවතිය ද එය පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතු බව අද (30) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, උදය ගම්මන්පිල මහතා පැවසී ය .
ඒ , විධායක නිලධාරියෙකු පත් කර හොංකොං මෙන් වරාය නගරයත් පාලනය කෙරෙයිද? යන මාධ්‍යවේදීන් විමසූ පැනයට පිළිතුරු ලෙසයි.
තවද හොංකොං - කොළඹ වරාය නගරය සංසන්දනය කළ නොහැකි බවත් අදාළ කොමිසමේ සියලු සාමාජිකයින් පත් කරන්නේ ධිජනාධිපතිවරයා විසින් බවට ද එහිදී ප්‍රකාශ විය.
මාධ්‍යවේදීන් එහිදී ප්‍රශ්න කර සිටියේ, වෙනම කොමිසමකින් පරිපාලනය කරන, බදු සහන දෙන පෝට් සිටියෙන් ආදායම් උත්පාදනය කරන්නේ කෙසේ ද යන්නයි.
සම කැබිනට් ප්‍රකාශක, උදය ගම්මන්පිල මහතා ඊට පිළිතුරු දෙමින් පැවසුවේ, දැවැන්තම ආයෝජනය වරාය නගරය බවත් ඒ හරහා ශ්‍රී ලංකාව ආසියාවේ වානිජ කේන්ද්‍රය බවට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.
පිහිටීම අනුව ආසියාවේ වාණිජ කේන්ද්‍රය වීමේ හැකියාව ශ්‍රී ලංකාව සතුව තිබුණ ද එම අවස්ථාව ප්‍රයෝජනයට නොගත් බැවින් සිංගප්පූරුව සහ ඩුබායි වැනි විකල්ප වානිජ නගර ලෙස බිහි වූ බවත් සම කැබිනට් ප්‍රකාශකවරයා එහිදී සඳහන් කළේ ය.
හොංකොං, මැකාවෝ මෙන් වරාය නගරයත් කැසිනෝ නගරයක් වේ දැයි, මාධ්‍යවේදීන් විමසූ පැනයට පිළිතුරු දෙමින් සම කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ, සංස්කෘතිය, රටේ උරුමය විනාශ කර මුදල් ඉපයීම ආණ්ඩුව බලාපොරොත්තුව නොවන බවයි.