හිටපු අගවිනිසුරු මොහාන්  අල්ලස් නඩුවෙන් නිදහස්

අල්ලස් නඩුවෙන් හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස්

by Staff writer 30-03-2021 | 2:15 PM

COLOMBO (News 1st) : අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා තිබු නඩුවේ චෝදනාවලින් හිටපු අගවිනිසුරුවරයෙකු වන මොහාන් පිරිස්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ. එස් .එම් .ඩී .නවාස් සහ විදුලි බල අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩර්ස් යන මහත්වරුන් නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රි රාගල මහතා අද නියෝග කළේ ය.

නඩුව අද කැඳ වූ අවස්ථාවේදි සැකකරුවන්ට එරෙහිව ගොනු කර තිබු චෝදනා පත්‍රය අල්ලස් කොමිෂන් සභාව ඉල්ලා අස්කර ගැනීම නිසා සැකකරුවන් තිදෙනා එලෙස නිදොස් කොට නිදහස් කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබී ය. ලංකා විදුලි පෞද්ගලික සමාගමේ ඉඩම් හා දේපළ මිලදී ගැනීමේදි සිදුවු බව කියන දූෂණ හා අක්‍රමිකතාවලට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම වැළැක්වීම සඳහා අයුතු ලෙස නීතිපති වාර්තාවක් ඉදිරිපත් කළේ, යැයි චෝදනා කරමින්, නීතිපතිවරයෙකු ලෙස කටයුතු කළ මොහාන් පිරිස් මහතාට මෙන්ම එවකට නිතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙස කටයුතු කළ ඒ. එස් . එම් . ඩී නවාස් සහ විදුලි බල අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩර්ස් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබිණ.