වසා දැමුණු "මැදවච්චිය ආර්ථිකය"

මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය වසා දැමුවේ කාගේ උවමනාවට ද?

by Staff writer 29-03-2021 | 2:37 PM

COLOMBO (News 1st) - රුපියල් ලක්ෂ 600කට ආසන්න මුදලක් වියදම් කර ඉදි කරන ලද මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන විනාශ වී යන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

උතුරු මැද පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින මෙම ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීමට මුලපුරන්නේ 2007 වර්ෂයේදීයි. ඉදිකිරීම් අවසන් කර 2016 වර්ෂයේ ආර්ථික මධ්‍යස්ථානය විවෘත කළේ ය. වසර කිහිපයක් මෙම ආර්ථික මධ්‍යස්ථානය ක්‍රියාත්මක කළ ද දැනට වසර තුනකට ආසන්න කාලයක් පුරා මෙම මධ්‍යස්ථානය වසා ඇති බව ගොවීහු පවසති. ප්‍රදේශයේ ගොවි ජනතාවගේ අස්වනු ඉතා පහසුවෙන් අලෙවි කර ගැනීමේ අරමුණෙන් මෙම මධ්‍යස්ථානය ආරම්භ කළ ද එම උත්සාහය අසාර්ථක වී ඇති බව ඔවුහු පෙන්වා දෙති. සියලු යටිතල පහසුකම්වලින් සමන්විත ඉතා නවීන තාක්ෂණය යොදාගෙන ඉදිකර ඇති මෙම මධ්‍යස්ථානය වෙළෙඳ කුටි 28 කින් සමන්විතයි.