ඔත්තු බලන APP එකක් ගැන පළ වන මතවලට ප්‍රතිචාර…

ඔත්තු බලන APP එකක් ගැන පළ වන මතවලට ප්‍රතිචාර…

by Staff writer 29-03-2021 | 3:46 PM

COLOMBO (News 1st) : පෙගසස් නමැති යෙදුමක් මගින් ජංගම දුරකතන හරහා පෞද්ගලික තොරතුරු ලබා ගැනීමේ උත්සාහයක් ගැන මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පසුගිය දා පාරිලිමේන්තුවේදී අනාවරණයක් සිදු කළේ ය.

මන්ත්‍රීවරයා පැවසූවේ, මෙම  (APP) යෙදුම හරහා වෙනත් පාර්ශවයන්ට ජංගම දුරකතනයක කැමරාව පවා ක්‍රියාත්මක කළ හැකිවීම තුළ ජනතාවගේ පෞද්ගලිකත්වයට හානියක් වන බවයි. වගකිව යුතු පාර්ශ්ව මීට සම්බන්ධ වුවහොත් ඊට දැඩිව ප්‍රතිචාර දක්වන බව ද ඔහු පැවසී ය. ජනතාවට විවිධ දේශපාලන මත දැරීමේ නිදහස මෙන්ම  පෞද්ගලිකත්වයක් ද  තිබිය යුතු බව සිහිපත් කළ මන්ත්‍රීවරයා පැවසුවේ, මෙවැනි යෙදුමක් ගෙන ඒමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය... 

?

ආවේක්ෂණ මෘදුකාංගයක් ගැන පළ වන මතවලට ප්‍රතිචාරයක්... 

මේ අතර අවේක්ෂණය කිරීමේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීම සහ ප්‍රචාරණය කිරීම සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන මත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සිය ප්‍රතිචාරය දක්වා තිබේ. අදාළ  චෝදනාව සම්පූර්ණයෙන් ම පදනම් විරහිත බවත් සිය පාරිභෝගිකයින් තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය පළුදු වන ආකාරයෙන් කටුයුතු නොකරන බව අදාළ නිවේදනයේ සඳහන් ය. එහි තවදුරටත් සඳහන් වන්නේ තමන් ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියාමනයන්ට අනුකූලව නිරන්තරව ක්‍රියා කරන බවයි.  

?

Pegasus නිසා ජංගම දුරකතනයට වන බලපෑම...?

මේ දිනවල සමාජයේ කතාබහක් ඇති වී තිබෙන ඊශ්‍රායල තාක්ෂණික කණ්ඩායමක් වන එන්.එස්.ඕ. විසින් නිර්මාණය කරන ලද පෙගසස් නමැති යෙදුම  (APP)  Android හා IOS දුරකථනවලට බලපෑම් ඇති කරයි. “පෙගසස්”  හරහා හැකර්වරුන්ට දුරකතනයේ කැමරාව, මයික්‍රොෆෝනය, ලිපි ගොනු, ඡායාරූප මෙන් ම ඊමේල් තුළට ද ප්‍රවේශ විය හැකියි. මෙමගින් ජංගම දුරකතන භාවිත කරන්නෙකුට වට්ස් ඇප් ඇමතුමක් හෝ එස්.එම්.එස්. එකක් යැවීමෙන් අදාළ දුරකථනයේ දත්ත අනාරක්ෂිත තත්ත්වයට පත් කළ හැකි ය. මෙහි ඇති අනතුරුදායක තත්ත්වය නම්, එම මොහොතේ සිටම ජංගම දුරකතනයේ දත්ත අනාරක්ෂිත තත්ත්වයට පත් වීමයි. ජංගම දුරකතන දත්ත මෙලෙස සොරාගන්නා “පෙගසස්”වලින්  ඉවත් වීමට ඇති එකම ක්‍රමය, අදාළ දුරකතනය භාවිතයෙන් ඉවත් කිරීම පමණයි. අලුතින් ජංගම දුරකතනයක් භාවිත කරන්නට පටන් ගත් විට පවා, මින් පෙර භාවිත කළ ගූග්ල්, වට්ස් ඇප් සහ ෆේස් බුක් ගිණුම් ඔස්සේ නව දුරකතනය ද ආක්‍රමණය කිරීමේ හැකියාව මෙය සතුව ඇත. “පෙගසස්” භාවිත කරන සෞදි අරාබිය, මෙක්සිකෝව, ඉන්දියාව වැනි රටවල ආණ්ඩු පවසන්නේ තම ආරක්ෂාවට එල්ලවන තර්ජන නැවැත්වීම සඳහා මෙය යොදා ගන්නා බවයි. නමුත් එය සිවිල් සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නන්ට එරෙහිව යොදා ගන්නා අවස්ථා ද පවතී. මෙවැනි තර්ජනාත්මක  (APP) තුළින් ජනතාවගේ ජංගම දුරකතනවලට බලපෑම් සිදුවීම වළක්වා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් ද ? මෙවැනි තත්ත්වයක් තුළ, ශ්‍රී ලාංකික ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට සහ ජංගම දුරකතන සේවා සපයන ආයතනවලටයි.