ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් යාපනයෙන්

ගෙවුණු දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් යාපනය දිස්ත්‍රික්කයෙන්

by Chathurika Jayasundara 28-03-2021 | 2:12 PM

COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 278 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අතරින් 18 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර ඉතිරි 260 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ය. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 88 කි. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 29 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 ක් ලෙස වාර්තා වී තිබේ. හඳුනාගත් ආසාදිතයින් 115 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වේ. ආසාදිතයින් 88, 387 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 2892 ක් පමණි. ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිත එක් මරණයක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 559 ක් දක්වා ඉහළ ගියේ ය. එලෙස මියගොස් ඇත්තේ, කොළඹ 06 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. අද දිනයේදී ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 93 ක් තුළ පුද්ගලයින් 9120 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (27) දිනය තුළ සිදු කර ඇති PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 7377 කි.