by Staff writer 28-03-2021 | 8:46 PM
COLOMBO (News 1st) - කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබු සියලු පාසල් හෙට(29) සිට යළි විවෘත කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාව තුළ කොරෝනා ව්‍යාප්තියත් සමග පසුගිය වසරේ මාර්තු 13වැනිදා සිට දිවයිනේ සියලු පාසල් වසා දැමුණු අතර පසුව අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කෙරිණි.
බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමේදී අවස්ථා කිහිපයකදීම ගැටලු මතු වූ අතර,අදාළ පාසල්වල 5 ,11 හා 13 ශ්‍රේණිවල පන්ති ආරම්භ කෙරුණේ පසුගිය 15 වැනිදා සිටය.
හෙට සිට බස්නාහිර පළාතේ පාසල්වල සියලු ශ්‍රේණි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති අතර, එහි සඳහන් වන්නේ සිසුන් 15 ක් දක්වා සිටින පන්ති සතියේ සෑම දිනකම පැවැත්විය යුතු බවයි.
සිසුන් 16 ත් 30 ත් අතර සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පැවැත්විය යුතුයි.
සිසුන් 30 ට වැඩි පන්ති, කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වන සේ පැවැත්විය යුතු බව චක්‍රලේඛයේ සඳහන් වේ.
බස්නාහිර පළාතේ පෙර පාසල් ද හෙට සිට ආරම්භ කිරීමට නියමිතය.
කෙසේ වෙතත් අගරදගුරු පදවි, කතෝලික සභාවේ බස්නාහිර පළාතේ පිහිටි සියලුම පුද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ලබන මස 05 වැනිදා සිට ආරම්භ කෙරෙනු ඇති.
මේ අතර ළමුන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව සිසු සැරිය බස් සේවා යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමකින් තොරව ළමුන් ප්‍රවාහනය කරන රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය.
මේ අතර, බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කර පවත්වාගෙන යෑමේදී ඊට අදාළව නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුගමනය කිරීම අනිවාර්ය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විමසිල්ලෙන් පසුවන බවයි.
බස්නාහිර පළාතේ දහම් පාසල් අප්‍රේල් 18 වැනිදා විවෘත කිරීමට ද තීරණය කර තිබේ.