ක්‍රිකට් පරිපාලනය වෙනුවට පංච පුද්ගල කමිටුවක්..

ක්‍රිකට් පරිපාලනය වෙනුවට පංච පුද්ගල කමිටුවක්..

by Staff writer 28-03-2021 | 2:16 PM

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු කරගෙන යාම සඳහා කළමනාකරණ කමිටුවක් පත් කරන ලෙස නීතිපතිවරයා තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයාට දන්වා ඇතැයි වාර්තා වේ.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා නිව්ස්ෆස්ට් වෙත පැවසුවේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනයේ ධුර කාලය අවසන්ව ඇති බැවින්, පවතින පරිපාලන කමිටුව නීත්‍යානුකූල නොවන බව නීතිපතිවරයා සඳහන් කර ඇති බවය. ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු කරගෙන යාම සඳහා කළමනාකරණ කමිටුවක් පත් කිරීමට නීතිපතිවරයා උපදෙස් දී ඇති බව ද ලේකම්වරයා පැවසුවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනයේ ධූර කාලය පසුගිය පෙබරවාරි මස 20 වැනිදායින් අවසන්ව ඇති බවත්, එහි පරිපාලනයට අතුරු කමිටුවක් පත් කරන ලෙසත් ඉල්ලමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයාට පසුගියදා ලිපියක් යොමු කළේ කෝල්ට්ස් ක්‍රිකට් සමාජයයි. පසුව එම ලිපිය නීතිපතිවරයාගේ මතය විමසීම සඳහා යොමු කෙරුණේ, වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ නීත්‍යානුකූලභාවය පිළිබඳව කෝල්ට්ස් ක්‍රිකට් සමාජය විමසා තිබීම හේතුවෙනි. නීතිපතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු කරගෙන යාම සඳහා කළමනාකරණ කමිටුවක් පත් කරන ලෙස උපදෙස් දී ඇත්තේ ඉන් අනතුරුවයි. 2019 වසරේ පෙබරවාරි 21 වැනිදා වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයක් අවසන් වරට පැවැති බවත්, එහි නිලධාරී මණ්ඩලයේ ධූර කාලය අවුරුදු 02ක් නොඉක්මවිය යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව උපුටා දක්වමින් කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අදාළ ලිපියේ දක්වා තිබුණි. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා වැඩි දුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කටයුතු සඳහා පස් දෙනෙකුගෙන් සමන්විත කළමනාකරණ කමිටුවක් හෙට පත් කරන බවයි.