කබානා 300ක් හදන්න කැළෑව කපලා..

කබානා 300ක් හදන්න යක්දිස්ස රක්ෂිතය හෙළිපෙහෙලි කරලා: ජනතාව දේව කන්නලව්වක

by Staff writer 28-03-2021 | 7:42 PM

COLOMBO (News 1st) - පරිසර විනාශය නතර කර දෙන ලෙස ඉල්ලමින් කිතුල්ගල ජනතාව අද(28) සමන් දෙවියන් වෙත දේව කන්ලව්වක් සිදු කළේය.

ඒ, යටියන්තොට, යක්දිස්ස රක්ෂිතයේ ,දෝතුළුව කන්දේ සිදුවන පරිසර විනාශයට එරෙහිව පැවැති විරෝධතාවය අතරතුරයි. මෙම විරෝධතාවය පැවැත්වු⁣ණේ කිතුල්ගල නගර මධ්‍යයේදීය. යක්දිස්ස රක්ෂිත ප්‍රදේශයට අයත් දෝතුළුව කන්ද කැලණි ගඟ පෝෂණය කෙරන අතු ගංගාවක්වන දඬුගං ඔයේ ආරම්භක ස්ථානයයි. කබානා 300ක් ඉදිකිරීම සඳහා එම භුමියේ අක්කර 14 ක භුමි ප්‍රමාණයක් හෙළි පෙහෙලි කර ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළේය. ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ ඒ සමගම දඬුගං ඔය ආරම්භක ස්ථානයෙන්ම හරස් කර පිහිනුම් තටාකයක් ද ඉදිකෙරමින් ඇති බවයි. මේ සම්බන්ධයෙන් අප පසුගියදා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන්ද විමසීමක් කළ අතර එහිදී මෙම භුමිය සම්බන්ධයෙන් වංචනික ක්‍රියාවලියක් සිදුව ඇති බවට හෙළි විය. එම කොමිසම ප්‍රකාශ කළේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දෝතුළුව කන්දේ හෙක්ටයාර් 517 ක් පවරාදුන් බවත් ප්‍රශ්න ගත ඉඩම එම කොටසට අයත් බවයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම තමන් ,වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා දුන් සම්පුර්ණ ඉඩම් ප්‍රමාණයම ගැසට් කරණු අතැයි අපේක්ෂා කළත් එය සිදුවී නැහැ. මෙම හෙළිපෙහෙලි කිරීම් පිළිබඳව ලැබුණු පැමිණිලි හේතුවෙන් කළ සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා දුන් ඉඩම් ප්‍රමාණයෙන් කොටසක් මගහැර මායිම් සලකුණු කර ඇති බවයි.