සූවස් ඇළේ නැවක් සිරවීම ලංකාවට බලපාන්නේ කෙසේද?

සූවස් ඇළේ නැවක් සිරවීම ලංකාවට බලපාන්නේ කෙසේද?

by Chathurika Jayasundara 27-03-2021 | 8:57 PM

COLOMBO (News 1st) –  ඊජිප්තුවේ සූවස් ඇල (Suez Canal ) හරහා සිරව ඇති MV EVER GIVEN නම් , නෞකාව ඉතා ඉක්මණින් ඉවත් කිරීමට හැකිවනු ඇතැයි එහි හිමිකරු පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

MV EVER GIVEN නම් , මෙම නෞකාව දිගින් අඩි 1,312ක් වන අතර පළල අඩි 175ක් වන බහාලුම් ප්‍රවාහන නෞකාවකි . අදාළ නෞකාවේ හිමිකරු වන Shoei Kisen පැවසුවේ , එහි එන්ජින් සහ විවිධ උපකරණවලට කිසිදු හානියක් සිදු වී නොමැති බවයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , ලොව කාර්ය බහුලතම නෞකා ගමන් මාර්ගයක් වන සූවස් ඇළ හරහා මෙම අවහිරතාවය සිදු වීම නිසා ඇළ දෙපස වෙනත් නැව් 200 කට අධික ප්‍රමාණයක විශාල තදබදයක් ඇති වී ඇති බවයි. එම නෞකා අතර ඉන්ධන බැරල් මිලියන 13ක් රැගත් නෞකා 10ක් ද වේ. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය සමග ලෝක ඉන්ධන වෙළෙඳපොළේ ඉන්ධන මිල 2 % කින් ඉහළ ගොස් ඇති බවත්, යම් හෙයකින් ඉන්ධන හිඟයක් ඇති වේද යන්න සම්බන්ධයෙන් බියක් ද පවතින බවය. මීට අමතරව ආහාර, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, එන්නත් ප්‍රවාහනය කිරීමේ ද ගැටලු ද මතුව තිබේ. මේ අතර නෞකාවේ තාක්ෂණික කළමනාකරු පැවසුවේ, නෞකාව ඉවත් කර ගැනීමට ඇළෙහි එක් ඉවුරක් විශාල කරමින් වැලි සහ මඩ ඉවත් කිරීමට අවශ්‍ය කැණීම් කටයුතු කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි. නෞකාව නැවත දියඹට යැවීමට නම් , වැලි කියුබ් මීටර් 15,000 ත් 20,000 ත් අතර ප්‍රමාණයක් ඉවත් කළ යුතු බව සුවස් ඇළ අධිකාරිය (The canal authority) පවසා ඇතැයි වාර්තා වෙයි. පසුගිය දා තුර්කිය ද නෞකාව නිදහස් කර ගැනීම සඳහා ඊජිප්තුවට උපකාර කිරීම සඳහා ටග් බෝට්ටුවක් යැවීමට ඉදිරිපත් වී තිබුණි. මේ අතර අමෙරිකාව විසින් ද සිය නාවික කණ්ඩායමක් නෞකාව මුදාගැනීමේ කටයුතු සඳහා යොමු කිරීමට සූදානම් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර BBC පුවත් සේවය සඳහන් කරන්නේ, මෙම නෞකාව සිරවීමේ තත්ත්වය ශ්‍රී ලංකාවේ වෙළෙඳ නාවික කටයුතුවලට ද යම් බලපෑමක් එල්ල කරනු ඇති බව යි. මේ හරහා භාණ්ඩ සැපයුම්දාම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් එල්ල කරනු ඇතැයි වාර්තා වෙයි. මේ අතර සති දෙකකට ප්‍රමාණවත් ඉන්ධන ශ්‍රී ලංකාව සතුව ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, සූවස් ඇළේ තෙල් නැවක් සිරවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොවන බවය.