COLOMBO (News 1st) – ගම්මැද්ද, දම්සවිය වැඩසටහනේ සදහම් සාකච්ඡා සඳහා සහභාගි වූ මහා සංඝරත්නය පැවැත්වූ දේශනා ඇතුළත් ග්‍රන්ථ 02 ක් අද(27) එළිදැක්විය.
උන්වහන්සේලාගේ ද සහභාගීත්වය ඇතිව අද පෙරවරුවේ ඒ වෙනුවෙන් උත්සවයක් පැවැත්වුණේ, කොළඹ පිහිටි නිව්ස්ෆස්ට් මධ්‍යස්ථාන පරිශ්‍රයේදීය.
උත්සවය සඳහා මහසඟරුවන වැඩම කළේ , හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේ සිට ය.
සියම් නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්, ශ්‍රී ලංකා අමරපුර නිකායේ වැඩබලන මහානායක අතිපූජ්‍ය ගංතුනේ අස්සජි හිමියන්, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක අතිපූජ්‍ය මාතලේ ධම්මකුසල හිමියන් සහ හුණුපිටිය ගංගාරම විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ද මෙම අවස්ථාවට වැඩම කළේ ය.
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලා දේශනා කළ ධර්ම දේශනා 20ක් ඇතුළත් මෙම කෘති 02 ත්‍රෛනිකායික මහාසංඝරත්නය වෙත පිළිගැන්වූයේ, කැපිටල් මහරාජා සමූයේ විධායක සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා විසිනි.
සියම් නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි
"භික්ෂූන් වහන්සේලා මේ විදියට ඒකරාශි කරලා උන්වහන්සෙලාගේ දම් දෙසුම්, ගමේ අඩුපාඩු, සමාජයේ අනිකුත් අයගෙ අඩුපාඩු, මේවා සාකච්ඡා කරමින් මේ විදියට තමයි මේ ගම්මැද්ද තුළින් ගමට ප්‍රවේශ වෙලා තියෙන්නේ .ඒ කාර්ය මණ්ඩලය යනවා ඒ ඒ පන්සල්වලට. ගිහිල්ලා ඒකට සුදුසු හාමුදුරුවො හොයාගෙන උන්වහන්සේ සමග සාකච්ඡා කරනවා. ගමේ තියන අඩුපාඩු දන්නේ ගමේ පන්සලේ හාමුදුරුවො . ඒ අඩුපාඩු මොනවාද ඒ අයගෙ අවශ්‍යතා මොනවාද මේවා මනාව දැනගෙන සාකච්ඡා කරලා. ඒ තුළින් විශේෂ වැඩසටහන් යොදන්න පුළුවන්"
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක අතිපූජ්‍ය මාතලේ ධම්මකුසල හිමි
"මේ සමාජයේ එක කොටසක් තියෙනවා ධර්මයෙන් මග ඇරෙන කොටසක්. දහම් පාසල් යන ළමයා වයස අවුරුදු 18 දී දහම් අධ්‍යාපනය නිමාකරනවා. ඉස්කොලේ යන කෙනාත් ඒ වෙලාවලදී ඉවරවෙනවා. අවුරුදු 20ක විතර පරතරයක් ධර්මයටත් සම්බන්ධ නැතුව සමාජයටත් සම්බන්ධ නැතුව සමාජයේ තමන්ට කැමති ලෙස හැසිරෙන යුගයක් එන කාලයක් තියෙනවා. ඒ කාලය ආරක්ෂා කරගැනීම සඳහා අපි විධිමත් ක්‍රමයක් සකස් කර ගත යුතු බව මතක් කරමින් විශේෂයෙන්ම ගම්මැද්ද , දම්සවිය යටතේ ඒ වගේ දෙයක් කිරීමට උත්සහ කිරීම ඉතාම වැදගත් දෙයක්"
මේ අවස්ථාවට සහභාගිවීම සඳහා නාගදීපය , ත්‍රීකුණාමලය, ගලෙන්බිඳුණුවැව ඇතුළු ඉතා දුර බැහැර ප්‍රදේශවලින් මහා සංඝරත්නය වැඩම කර සිටි අතර, කාලීන අවශ්‍යතාවක් සපුරමින් ධර්ම ප්‍රචාරණය පිණිස සිදු කළ මෙම මාහැගි කාර්යය උන්වහන්සේලාගේ ප්‍රසාදයට ලක්විය .
කැපිටල් මහරාජා සමූහයේ විධායක සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා
"සභාපතිතුමා අපිට කිව්වා මේ දම්සවිය කියන වැඩසටහන පටන් ගන්න. නිර්මල ථේරවාද බුදුදහම පිළිබඳව විශේෂයෙන්ම අපේ තරුණ තරුණියන්ට උගන්වන්න අවස්ථාවක් ලබා දෙන්න කියල.මෙතනදී අපි ගියේ ගමට. ගමට ගිහිල්ලා අපි සත්‍යය උගන්වන ස්වාමීන් වහන්සේලා හොයාගෙන . අපි අවස්ථාවක් ලබා දුන්නා. අපිට නිර්මල දහම ආරක්ෂා කරන්න බැරි වුණොත් . එහෙම නම් අපි ඇත්තටම ලාංකිකයින් නෙවෙයි"
දම්සවිය ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවයෙන් පසු දානමය පුණ්‍ය කර්මයක් ද පැවැත්විය .
ශ්‍රී ලංකා අමරපුර නිකායේ වැඩබලන මහානායක අතිපූජ්‍ය ගංතුනේ අස්සජි හිමි
"මූලික ධර්ම කරුණු විකෘති කරනවානම් ඒක එක පැත්තකින් බුදුරජාණන් වහන්සේට අපහාස කිරීමක්, අබ්භාචික්කනයක්, ඒක බුද්ධ වචනයමයි. ඒ වචනය හරියට තේරුම් අරන් ක්‍රියාත්මක කරනවා නම් දේශනා කරනවානම් ඒක උන්වහන්සේට කරන විශාල බුද්ධ පූජාවක් වෙනවා. ඒ විකෘතිකිරීම් බොහෝම විශාල වශයෙන් සිද්ධවෙනවා. ධර්මය විකෘතිකරන පිරිසක් ලෝකය පුරාම සංවිධානාත්මකව ඉන්න නිසා.අපි ගිහි පැවදි දෙපක්ෂයම හරි අවධානයෙන් ඉන්න ඕනෑ කාලයක්. ඒ නිසා සිරස ආයතනයේ සභාපතිතුමා අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු මේ හැම දෙනාම විශේෂ වැඩසටහනක් සම්පාදනය කරගෙන ගමින් ගමට ගිහින් මේ ධර්මය බෙදාදීම හරි වැදගත් වෙනවා. ඒ එක්කම ඒ ධර්මය මුද්‍රණාද්වාරයෙන් නිකුත්කරලා කියවන්න සකස්කරදීමත් ඉතාම වැදගත් වෙනවා"
https://youtu.be/fIdXKGiBXWU