SPECIAL REPORT: මෙරට ක්‍රිකට්වල අමතක වී යන සූරියවැව ක්‍රීඩාංගණයේ මුදල් නාස්තිය..

by Staff writer 26-03-2021 | 12:07 PM

COLOMBO (News 1st) - විටින් විට මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ බලය ලබාගත් ක්‍රිකට් බලධාරීන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් යෙදවිය යුතු මුදල් නාස්ති කළ අවස්ථා රැසක් පිළිබඳ අප පසුගිය කාලය පුරාවට අනාවරණ කළෙමු.

කොපමණ විශාල දූෂණයන් පිළිබඳ අනාවරණය කළත් බලධාරීන්ට ඒ පිළිබඳව අමතක වීම දැන් පුරුද්දක් බවට පත්ව තිබේ. මේ, සූරියවැව ක්‍රීඩාංගණය වෙනුවෙන් දැරූ එවන් පිරිවැයක් පිළිබඳ අනාවරණයකි. ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන යොදා ගනු වෙනුවට භෞතික ඉදිකිරීම් වෙනුවෙන් වෙන් කළ මුදල් අහිමි වූ අයුරු පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධව කළ විශේෂ විගණනයෙන් අනාවරණය විය. පසුගිය වසරේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී සිය වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ක්‍රීඩා සමාජ වෙත ලබා දීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය මූල්‍ය ප්‍රකාශන වාර්තාව තුළ හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ඉදිකිරීම සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කර ඇත. මූල්‍ය ප්‍රකාශනයේ ඇතුළත් කරුණු දැක්වීමට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ සූරියවැව ක්‍රීඩාංගණය සිය අවශ්‍යතාව මත සිදු කළ ඉදිකිරීමක් නොවන බවයි. 2009 මැයි මස 05 වැනි දා ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය පත්වීමෙන් පසු එහි ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් එවක ජනාධිපතිවරයා සමග සිදු කළ සාකච්ඡාවකින් පසු මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රකාශනය අනුව එවක ලේකම්වරයා ලෙස කටයුතු කළේ, නිශාන්ත රණතුංග මහතා යි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2011 ජුනි 30 වැනි දා සිය ගිණුම් ප්‍රකාශන මගින් දක්වා ඇත්තේ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 4 යි දශම 2 යි 8 යි 2 ක් වියදම් කර ඇති බවයි. 2015 මාර්තු 01 වැනි දා සිදු කළ රජයේ තක්සේරුවක් මගින් මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ විටනාකම ලෙස රුපියල් මිලියන 912 ක් ලෙස දක්වා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීමකට අනුව මේ පිළිබඳ සිදු කළ යළි සලකා බැලීමකදී ද සඳහන් කර තිබෙන්නේ ක්‍රීඩාංගණයේ වටිනාකම රුපියල් මිලියන 912 ක් බවයි. ඉන් රුපියල් මිලියන 914 ක් වරාය අධිකාරියේ වැඩ කුලිය ලෙසත් ඉතිරි මුදල් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවා ඇති බව සඳහන් ය. මීට අදාළ රුපියල් බිලියන 2 යි දශම දෙකකට කිසිදු ලේඛනයක් හෝ බිල්පතක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රකාශනයේ සඳහන් ය. 2016 ජනවාරි 27 වැනිදා වරාය අධිකාරිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කළ ලිපියක චයිනා හාබර් ආයතනය වරාය හා නාවික අමාත්‍යවරයාට යොමු කළ ලිපියක් ඇමුණුමක් ලෙස යොමු කර තිබේ. එහි දැක්වෙන්නේ හම්බන්තොට ක්‍රීඩාංගණය ඉදිකිරීම වෙනුවෙන් චයිනා හාබර් ආයතනයට රුපියල් බිලියන 5 යි දශම 0 යි 2 යි 7 ක් ලැබිය යුතු බවයි. ඊට 2015 වර්ෂයේ ජුලි මස දක්වා ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් ඇතුළත් කළ රුපියල් බිලියන 2 යි දශම 7 ක පොලී මුදලක් ද ඇතුළත් වේ. එසේම රුපියල් මිලියන 582 ක් මිල ගණන් වෙනස් වීම මත වැඩි වූ මුදල් ලෙස දක්වා ඇත. අවසාන ගෙවීමට ඇතුළත් රුපියල් මිලියන 603 ක් සිවිල් කටයුතු වෙනුවෙන් දක්වා ඇති අතර මෙම වියදම් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනට හා ඉදිකිරීම් පාර්ශ්ව අතර කිසිදු එකඟතාවක් සිදුව නැත. රුපියල් බිලියන 2 යි දශම දෙකකට කිසිදු ලේඛනයක් හෝ බිල්පතක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රකාශනය තුළ තොරතුරු ඇතුළත්. මෙවැනි කටයුතු පිළිබඳ මූල්‍ය වගකීම් දැරිය යුත්තේ කවු ද? මේවාට වගකිව යුතු පුද්ගලයින් නැවත නැවතත් ක්‍රිකට් පරිපාලනය කිරීමෙන් සිදු වන්නේ කුමක් ද?