පළමු ටෙස්ට් තරගය විසඳුමකින් තොරව අවසන්

ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයේ බලාපොරොත්තුව කොදෙව්වන් බිඳ දමයි:පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

by Chathuranga Rajapaksha 26-03-2021 | 6:22 AM

COLOMBO (News 1st) - කලකට පසු ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීමට තිබූ මහඟු අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි විය.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම හේතුවෙනි. ලකුණු 375ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කොදෙව් පිතිකරුවන් පිටිය තුළ ස්ථාවරත්වයක් ගොඩ නගා ගනිමින් පරාජයෙන් තම කණ්ඩායම ගලවා ගැනීමට සමත් විය. පස්වන දිනයට තරගය ආරම්භ කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු  34ක් ඔවුන් ලබා සිටියේය. දිනයේ පළමු කඩුල්ල ලෙස නායක ක්‍රේග් බ්‍රැත්වයිට් ලකුණු 23කට දැවී ගියේය. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නක්රුමා බොනර් නොදැවී ලකුණු 113ක් ලබා ගැනීමට සමත් විය. පස්වන දිනය අවසන් වනවිට කොදෙව් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 236ක් ලබාගෙන සිටියේය. විශ්ව ප්‍රනාන්දු, ලසිත ඇඹුල්දෙනිය සහ දුෂ්මන්ත චමීර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයේ බලාපොරොත්තු බිඳ දමමින් පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට කොදෙව් ක්‍රීඩකයින් සමත් විය. තරගයේ පළමු ඉනිමට ශ්‍රී ලංකාව ලකුණු 169ක් ලබා ගත් අතර කොදෙව්වන් සිය පළමු ඉනිමට ලකුණු 271ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිමට ලකුණු 471ක් ලබා ගැනීමට සමත් විය. එහිදී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ශතකයක් වාර්තා කළේය. ඔහු ලබා ගත් ලකුණු ගණන 103කි. නිස්සංක තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබුවේය. දෙරට අතර දෙවන සහ අවසන් ටෙස්ට් තරගය ලබන 29වැනිදා ආරම්භ කිරීමට නියමිතය.