පස්සර මාරක අනතුර වූ තැන කළු ගල දින 5න් ඉවතට

මාස 4 ක් තිස්සේ ඉවත් නොවූ පස්සර මාරක අනතුර සිදු වූ තැන කළු ගල දින 5න් ඉවතට

by Sagarika Chathumali 26-03-2021 | 6:18 PM

COLOMBO (News 1st) –  පුද්ගලයින් 14 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය 20 වනදා බදුල්ල - පස්සර මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී මාරක බස් රථ අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගය අවහිර වන පරිදි වැටී තිබූ කළු ගල ඊයේ රාත්‍රී ඉවත් කර තිබේ.

පසුගිය නොවැම්බර් මාසයේ සිට මග හරස් කරමින් වැටී තිබූ මෙම ගල අනතුරින් දින 5ක් ඇතුළත ඉවත් කිරීමට හැකි වී ඇත. ගල ඉවත් කරන ලෙස කිහිප විටක් අදාළ කොන්ත්‍රාත් සමාගම දැනුවත් කළ බව අනතුර සිදු වූ දිනයේ බලධාරීහු ප්‍රකාශක කළහ. ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී පෙරවරු 7.15 ට පමණ බස් රථය පෙරළී ගිය ආකාරය සීසීටීවී කැමරාවක සටහන්ව තිබිණ. අදාළ දර්ශනවලට අනුව මාර්ගය හරස් කරමින් වැටී තිබූ එම කළු ගල ද අනතුරට එක් හේතුවක් බව බැලූ බැල්මට පෙනෙන්නට තිබිණ. ප්‍රදේශවාසීන් ද පැවසුවේ, අදාළ කළු ගල මාර්ගයෙන් ඉවත් කරන ලෙස කෙතරම් පැවසුව ද එය ඉවත් කිරීමට බලධාරීන් කටයුතු නොකළ බවයි. මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල ලැබූ පිරිස 35කි . යම් හෙයකින් මෙම කළු ගල ඉවත් කර තිබුණේ නම්, ඇතැම් විට පසුගිය 20 වනදා රටම කම්පා කළ මෙවන් ඛේදවාචකයක් සිදු නොවන්නට ද ඉඩ තිබිණ. https://www.youtube.com/watch?v=17CzS_PQBGA https://www.youtube.com/watch?v=CMoiX8I9p0Y