මා ගැන ජනමතය ගොබෙල්ස් න්‍යායට අනුව වූ දෙයක්

පාස්කු ප්‍රහාරයේ වගවීම ගැන කතා කරනවා නම්, අරන්තලාව භික්ෂු ඝාතනයටත් මහ බැංකු බෝම්බයටත් වගවීම ගැන චෝදනා පත්‍ර නිර්මාණය කළ යුතුයි - හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන

by Chathurika Jayasundara 26-03-2021 | 4:57 PM

COLOMBO (News 1st) – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා පිළිබඳව ජනගත වී ඇති මතය ගොබෙල්ස් න්‍යායට අනුව සිදුව ඇති දෙයක් බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු එම අදහස් පළ කළේ, පාස්කු කොමිසන් වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ අද පැවැති විවාදයේදී ය. හිටපු ජනපතිවරයා පැවසුවේ , පාස්කු ප්‍රහාරය පිළිබඳව කළින් දැන එය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග තමන් නොගත්තා යැයි වැරදි මතයක් සමාජයේ පවතින බවයි. එනම් , තමා පිළිබඳව තිබූ අනවබෝධය හා දේශපාලන පළිගැනීම් නිසා තමා පිළිබඳව වැරදි දිගින් දිගටම කතා බහට ලක් වූ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය. වගවීම පිළිබඳව සළකන්නේ නම් , අරන්තලාව භික්ෂු ඝාතනය , ශ්‍රී මහා බෝධියට බෝම්බ හෙළීම , මරදාන බෝම්බය , මහ බැංකු බෝම්බ ප්‍රහාරය ආදියට ද කොමිසන් සභා නිර්මාණය කළ යුතු බව හිටපු ජනපතිවරයා සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් ද වගවීම පිළිබඳව චෝදනා පත්‍ර සැකසිය යුතු බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය. තම රජයේ හිටපු මැති ඇමතිවරුන්ම පාස්කු ප්‍රහාරය සඳහා තමාව වැරදිකරුවෙකු බවට පත් කිරීමට උත්සාහ කළ බව එහිදී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී කළ සම්පූර්ණ කතාව...   https://www.youtube.com/watch?v=5MjYi8jcQn0&t=376s