නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඩිජිටල් වේදිකාවක්

“ඩිජිටල් වේදිකාව” තිරසර අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට ජනතාවට ලැබෙන අනගි අවස්ථාවක් - ජනපති

by Chathurika Jayasundara 26-03-2021 | 6:31 PM

COLOMBO (News 1st) – “ඩිජිටල් වේදිකාව”අදහස් සහ නිර්මාණශීලි යෝජනා ඉදිරිපත් කර තිරසර අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට ජනතාවට ලැබෙන අනගි අවස්ථාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මහජනතාවගේ අදහස් ලබා ගැනීම සඳහා වන “ඩිජිටල් වේදිකාව” දියත් කිරීම පිණිස අද(26) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවය අමතමින් ය. “ඩිජිටල් වේදිකාව” නිල වශයෙන් විවෘත කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණු අතර, “නැණසත් මනසත් පොහොසත් කරන පිරිපුන් අධ්‍යාපනයක් කරා” යන්න “ඩිජිටල් වේදිකාවේ” තේමාවයි. මේ අනුව අද සිට ඉදිරි මාස 03 ක කාලයක් පුරා egenuma.moe.gov.lk වෙබ් අඩවිය හරහා ජනතාවට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන යෝජනා සහ අදහස් ඩිජිටල් වේදිකාවට යොමු කිරීමට හැකියාව පවතී. තිරසර අධ්‍යාපන ප්‍රතිපත්තියක් සඳහා වඩාත් පුළුල්ව මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමට “ඩිජිටල් වේදිකාව” විවෘතව පවතින අතර ?උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වීමට වැඩි අවස්ථාවක් සැලසීම ?රටේ අනාගත පරපුර දැනුමෙන්, කුසලතාවෙන් පිරිපුන් පරපුරක් ලෙස ලෝකය හමුවට ගෙන යාම ? විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක විෂය නිර්දේශ නවීකරණය සහ ප්‍රතිව්‍යුහකරණය මගින් රැකියා නිපුණතා වර්ධනය මෙහි අරමුණු ය. පෙර පාසල් අධ්‍යාපනය, ප්‍රාථමික සහ ද්වීතීයික අධ්‍යාපනය, වෘත්තීය සහ තෘතීක අධ්‍යාපනය සහ උසස් සහ වෘත්තීය අධ්‍යාපනය ලෙස ප්‍රධාන උප ක්ෂේත්‍ර 04ක් යටතේ ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කිරීමට ද අවස්ථාව ලැබේ. රටක චින්තනය සහ දර්ශනය ගොඩනැගෙන්නේ එරට අධ්‍යාපන ක්‍රමය තුළින් බවත්, යල් පැනපු අධ්‍යාපන ක්‍රමයකින් බිහි වන්නේ නූතන ලෝකය සමග ඉදිරියට ගමන් කළ නොහැකි සමාජයක් බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය. දැනට පවතින අන්තර්ජාල සහ තාක්ෂණික අඩුපාඩු 2023 වර්ෂය වනවිට සම්පූර්ණයෙන් ඉවත් කරන බව පැවසූ ජනපතිවරයා සියලුම ශ්‍රී ලාංකික දරුවන්ට පෙර පාසලේ සිට අංග සම්පූර්ණ අධ්‍යාපනයක් දීම තම අපේක්ෂාව බව ද පැවසීය.