ඉන්දියාව ඇස්ට්‍රොසෙනෙකා අපනයනය අත්හිටුවයි

ඉන්දියාව ඇස්ට්‍රොසෙනෙකා එන්නත අපනයනය අත්හිටුවයි

by Staff writer 25-03-2021 | 7:05 AM

(News 1st) - ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා මර්දන එන්නත අපනයනය තාවකාලිකව අත්හිටවූ බව ඉන්දියාව පවසයි.

එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ, දේශීය අවශ්‍යතාව සඳහා ප්‍රමුඛතාව ලබාදීමේ අරමුණින් එම තීරණය ගත් බවයි. ඉන්දීයාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග ඉදිරි සතිවල දේශීය එන්නත් ඉල්ලුම ඉහළ යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා එන්නත් බෙදා හැරීමේ කොවැක්ස් වැඩපිළිවෙළට අයත් රටවල් 190 කට ඉන් බලපෑම් වනු ඇති. ඉන්දියාව මේ වනවිට රටවල් 76 කට අපනයනය කර ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 60 කට අධිකය. වසරේ ගත වූ කාලසීමාව තුළ ඉන්දියාවේ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් ඊයේ වාර්තා විය. එම සංඛ්‍යාව 47,262 ක්. පැය 24 ක් තුළ එරටින් කොරෝනා මරණ 275 ක් ද වාර්තා විය. මේ අතර ද්විත්ව විකෘති නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් ද ඉන්දියාවෙන් හඳුනාගෙන ඇතැයි ඊයේ වාර්තා විය. අදාළ පරීක්ෂාව සඳහා ලබාගෙන ඇති මුළු සාම්පල ගණන 10787 කි. ඉන්, 736 ක් බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු නව කොරෝනා වෛරස් ප්‍රභේදයට අයත් ය. දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලයෙන් සොයාගත් නව කොරෝනා වෛරස් ප්‍රභේද සහිත සාම්පල ද එහිදී හඳුනාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. ඉන්දීය රජය පවසන්නේ නව ආසාදිතයින් වාර්තා වීම සහ ද්විත්ව විකෘති ප්‍රභේද වාර්තා වීම අතර කිසිදු සබඳතාවක් නොමැති බවයි. මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 12 කට ආසන්නයි. එරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව, එක් ලක්ෂ 60,726 කි.