by Staff writer 24-03-2021 | 3:11 PM
COLOMBO (News 1st) : දේශපාලන පළි ගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව විසින් තමාව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර, නීතිමය පියවර ගන්නා ලෙසට ලබාදී ඇති නිර්දේශ බලරහිත කරන්නැයි, ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා අභියාචනාධිකරණයට අද රීට් ආඥා පෙත්සමක් ගොනු කළේ ය.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ,ජනාධිපති කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සෙසු සමාජිකයින් දෙදෙනා,එම කොමිෂන් සභාවේ ලේකම්වරිය, කැබිනට් මණ්ඩලයේ සමාජිකයින් ,කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයායි.
ජනාධිපතිවරයා විසින් එම කොමිෂන් සභාව පත් කරනු ලැබුවේ 2015 ජනවාරි 08 වැනිදා සිට 2019 නොවැම්බර් 16 වැනිදා කාලය අතරතුරදී රාජ්‍ය නිලධාරීන්ට යම් දේශපාලන පළි ගැනීමක් සිදුවී ඇත්නම්, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර නිරේදේශ ඉදිරිපත් කිරිමට පමණක් බව පෙත්සම්කරු පෙත්සමෙන් අධිකරණයට පෙන්වාදී තිබිණ.
ඔහු වැඩිදුරටත් එමඟින් පෙන්වාදී ඇත්තේ, සීමිත බලතල පවරා තිබියදී එම කොමිෂන් සභාව විසින් නීතිපතිවරයා හා අල්ලස් කොමිෂන් සභාව විසින් විවිධ දූෂණ අක්‍රමිකතා හා අපරාධ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවල සැකකරුවන් හා විත්තිකරුවන් එම චෝදනාවලින් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසට නිර්දේශ කිරීම හා එලෙස වරදකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් පිරිසට එරෙහිව නිතිමය පියවර ගන්නා ලෙසට නිර්දේශ කිරීම නීති විරෝධි බවයි.
එලෙස කටයුතු කිරීම කොමිෂන් සභාවේ බලතල ඉක්මවා කටයුතු කිරීමක් වන්නේ යැයිද , අධිකරණයට පෙන්වා දුන් පෙත්සම්කරු ජනාධිපති කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි, නීතිපතිවරයා වෙත දැනුම් දීමට පසුගිය ජනවාරි 18 වැනිදා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරිම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි, ද අධිකරණයෙන් ඉල්ලා තිබේ.