ඩුබායි සිට ගෙන ආ සිරුර කෙසෙල්වත්තේ දිනුකගේ

ඩුබායි සිට රැගෙන ආ මළ සිරුර කෙසෙල්වත්තේ දිනුකගේ බව DNA පරීක්ෂණයෙන් තහවුරු වෙයි

by Staff writer 24-03-2021 | 3:14 PM

COLOMBO (News 1st) - පසුගිය 18 වැනි දා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන එන ලද මළ සිරුර රාජපක්ෂ ආරච්චිගේ දිනුක මදුෂාන් හෙවත්, කෙසෙල්වත්තේ දිනුකගේ බව තහවුරු වී තිබේ.

පොලීසිය පැවසුවේ, කෙසෙල්වත්තේ දිනුකගේ ඇඟිලි සලකුණු වාර්තා සහ ඔහුගේ මවගේ DNA සාම්පල ලබාගෙන කළ විමර්ශනවලින් ඒ බව තහවුරු වූ බවයි. පසුගිය 18 වැනි දා උදෑසන 11.25 ට පමණ ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් යානයකින් පුද්ගල මළ සිරුරක් ඩුබායි සිට රැගෙනවිත් තිබුණි. එහි නම සටහන් වී තිබුණේ රාජපක්ෂගේ කසුන් මදුරංග නැමැති පුද්ගලයෙකුගේ බවටයි. කෙසේවෙතත් එම මළ සිරුර අපරාධ රැසකට සම්බන්ධ, රාජපක්ෂ ආරච්චිගේ දිනුක මදුෂාන් හෙවත් කෙසෙල්වත්තේ දිනුකගේ බවට පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණි. එය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා කෙසෙල්වත්තේ දිනුකගේ මවගේ DNA සහ කෙසෙල්වත්ත පොලීසිය භාරයේ තිබූ දිනුකගේ ඇඟිලි සලකුණු සසදා බැලීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක කෙරුණි. පොලීසිය සඳහන් කළේ, එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව මෙම තොරතුරු තහවුරු කර ගැනීමට හැකි වූ බවයි.