ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්මතයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව UNHRC වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

by Staff writer 23-03-2021 | 4:48 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට (UNHRC) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මධ්‍යගත කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය.

යෝජනාව සම්බන්ධයෙන් චීනය ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේ ය. ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී යුරෝපා ඇතුළු රටවල් 22 ක් යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කර තිබේ. යෝජනාවට විපක්ෂව එනම් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය භාවිත කළේ, චීනය ඇතුළු රටවල් 11 ක් පමණි. ඉන්දියාව හා ජපානය ඇතුළු රටවල් 14 ක් යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියේ ය. මේ අතර ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවට ඡන්දය භාවිත කිරීමෙන් ඉන්දියාව වැලකී සිටියේ ය. එක්සත් ජාතීන්ගේ මධ්‍ය කණ්ඩායම සකස් කළ අදාළ යෝජනාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණේ මෙරට වේලාවෙන් අද පස්වරුවේය. බ්‍රිතාන්‍ය විසින් නායකත්වය දැරූ අදාළ මධ්‍ය කණ්ඩායමට ජර්මනිය, කැනඩාව, මොන්ට්‍රිනීග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ මලාවි යන රටවල් ඇතුළත් වූ අතර 2012 වසරේ සිට ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන් ගෙන ආ යෝජනාවෙන් අවධානය යොමුව තිබුණි. ඔවුන් සිය යෝජනාවෙන් පෙන්වා දුන්නේ වගවීම, යුක්තිය ඉටු කිරීමට සහ සංහිඳියාව වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකාව පුළුල් ක්‍රියාමාර්ගගත යුතු බවටයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය සම්බන්ධයෙන් ඇති සාක්ෂි ගබඩා කිරීම සහ විශ්ලේෂණය කිරීමේ ඇති වැදගත්කම ද මධ්‍ය කණ්ඩායම සිය යෝජනාවෙන් පෙන්වා දුන්නේ ය. ශ්‍රී ලංකාවේ පළාත් සභා ඡන්දය පැවැත්වීම සහ පළාත් සභා ක්‍රමය පවත්වාගෙන යාම පිළිබඳව කරුණු දැක්වීමේදී උතුරු සහ නැගෙනහිර පළාත් සභා සම්බන්ධයෙන් ඔවුන් විශේෂ කරුණු දැක්වීමක් ද සිදු කළ අතර කොරෝනා වසංගත තත්ත්වය තුළ ආගමික නිදහසට එල්ල වී ඇති බාධා සම්බන්ධයෙන් ද එක්සත් ජාතීන්ගේ මධ්‍ය කණ්ඩායම සිය යෝජනාවෙන් කරුණු ඉදිරිපත් කළේ ය. මධ්‍ය කණ්ඩායමේ අදාළ යෝජනාවලිය ඉදිරිපත් කර රටවල් අදහස් දක්වන අවස්ථාවේ චීනය ඒ වෙනුවෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේ ය. ඒ අනුව බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, මෙක්සිකෝව, යුක්රේනය, උරුගුවේ ඇතුළු රටවල් 22 ක් යෝජනාවට පක්ෂය ඡන්දය භාවිත කළ අතර චීනය, රුසියාව, පකිස්ථානය, බංග්ලාදේශය, කියුබාව, පිලිපීනය, වෙනුසුවෙලාව, බොලිසිවියාව ඇතුළු රටවල් 11 ක් මධ්‍ය කණ්ඩායමේ යෝජනාවට විපක්ෂව ඡන්දය භාවිත කළේ ය. ඉන්දියාව, ජපානය, නේපාලය, සෙනාගලය ඇතුළු රටවල් 14 ක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියේ ය. යෝජනාව සම්මත වීමෙන් පසු විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා අදහස් පළ කළේ ය.