අමරපුර මහනාහිමි ආදාහන පූජෝත්සවය බ්‍රහස්පතින්දා

අමරපුර මහ නාහිමි ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව ලබන බ්‍රහස්පතින්දා

by Staff writer 22-03-2021 | 10:03 PM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අපවත් වී වදාළ, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ලබන බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතව තිබේ. 88 හැවිරිදි අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් වැඩ වාසය කළේ , ගල්කිස්ස ධර්මාපාලාරාම විහාරස්ථානයේ ය.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද(22) පෙරවරුවේ උන්වහන්සේ අපවත් විය. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පැවසුවේ, මහා නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන බ්‍රහස්පතින්දා කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට තීරණය කර ඇති බවයි. 1933 ජනවාරි 26 වැනිදා ගම්පහ , කොටුගොඩදී උපන් අතිපූජ්‍ය ධම්මාවාස නාහිමියන් මූලික අධ්‍යාපනය ලැබුවේ , කොටුගොඩ බෞද්ධ මිශ්‍ර පාසලෙන් ය. 15 හැවිරිදි වියේදි පැවිදි දිවියට ඇතුළත් වූ උන්වහන්සේ අනතුරුව රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනෙන් අධ්‍යාපනය ලැබුවේ ය. 1954 ජූලි 10 වැනිදා කලුතරදී උපසම්පදාව ලැබූ උන්වහන්සේ එතැන් පටන් සිය ශාසනික, සමාජීය මෙහෙවර තවත් පුළුල් කරමින් බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් කැප විය. 1970 වසරේ සිට අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් අමරපුර නිකායේ ඉහළ තනතුරු හෙබවූ අතර, එම මාහැඟි ශාසනික මෙහෙවර අගයමින් බුරුම රජය 2007 වසරේදී උන්වහන්සේට අග්ගමහා පණ්ඩිත පදවිය පිරිනැමුවේ ය. ධම්මාවාස හිමියන් අමරපුර නිකායේ උත්තරීතර මහානායක ධුරයෙන් පිදුම් ලැබුවේ 2017 වසරේදී ය. උන්වහන්සේ ධර්මපාල වංශාලංකාර, සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද , ප්‍රවචන කීර්ති ශ්‍රී, ශාසන ශෝභන ඇතුළු ගෞරව නාම රැසකින් පිදුම් ලැබූ මහතෙර නමකි. රටවල් රැසකට ගොස් ධර්ම ප්‍රචාරණ කටයුතුවල නිරත වෙමින් බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කළ මහා නාහිමියන් ග්‍රන්ථ 30 කට අධික සංඛ්‍යාවක් රචනා කර තිබේ. පාලක-පාලිත දෙපක්ෂයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින්, රට දැය වෙනුවෙන් කැප වූ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන්ගේ නාමය සදානුස්මරණීයයි.