PEGASUS APP එක ගැන ඔබ දැනුවත්ද?

PEGASUS APP එක තුළින් ඔබේ ජංගම දුරකතනයට කළ හැකි දේ ගැන ඔබ දන්නවාද?

by Staff writer 21-03-2021 | 10:57 PM

COLOMBO (News 1st): "පෙගසස්" නම් මෘදුකාංගයක් (Pegasus App) ගැන, මේ දිනවල සමාජයේ කතාබහක් ඇති වී තිබේ.

එම මෘදුකාංගයෙන් ඔබේ ජංගම දුරකතනයට කළ හැකි දේ කුමක්දැයි ඔබ දන්නවාද ? ඊශ්‍රායල තාක්ෂණික කණ්ඩායමක් වන එන්.එස්.ඕ. විසින් නිර්මාණය කරන ලද පෙගසස් නමැති මෘදුකාංගය Android හා IOS දුරකථනවලට බලපෑම් ඇති කරයි. "පෙගසස්" මෘදුකාංගය හරහා හැකර්වරුන්ට දුරකතනයේ කැමරාව, මයික්‍රොෆෝනය, ලිපිගොනු, ඡායාරූප සහ ඊමේල් තුළට ප්‍රවේශ විය හැකියි. මෙම මෘදුකාංගය මගින් ජංගම දුරකතන භාවිත කරන්නෙකුට වට්ස් ඇප් ඇමතුමක් හෝ එස්.එම්.එස්. එකක් යැවීමෙන් අදාළ දුරකථනයේ දත්ත අනාරක්ෂිත තත්ත්වයට පත් කළ හැකි වේ. ඒ මොහොතේ සිටම ජංගම දුරකතනයේ දත්ත අනාරක්ෂිත තත්ත්වයට පත් වීම මෙහි ඇති අනතුරුදායක තත්ත්වයයි. ජංගම දුරකතන දත්ත මෙලෙස සොරාගන්නා "පෙගසස්" මෘදුකාංගයෙන් ඉවත් වීමට ඇති එකම ක්‍රමය, අදාළ දුරකතනය භාවිතයෙන් ඉවත් කිරීම පමණයි. අලුතින් ජංගම දුරකතනයක් භාවිත කරන්නට පටන් ගත් විට පවා, මින් පෙර භාවිත කළ ගූග්ල්, වට්ස් ඇප් සහ ෆේස් බුක් ගිණුම් ඔස්සේ නව දුරකතනය ද ආක්‍රමනය කිරීමේ හැකියාව මෙම මෘදුකාංගය සතුය. "පෙගසස්" මෘදුකාංගය භාවිත කරන සෞදි අරාබිය, මෙක්සිකෝව, ඉන්දියාව වැනි රටවල ආණ්ඩු පවසන්නේ තම ආරක්ෂාවට එල්ලවන තර්ජන නැවැත්වීම සඳහා මෙය යොදා ගන්නා බවය. නමුත් එය සිවිල් සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නන්ට එරෙහිව යොදා ගන්නා අවස්ථා ද පවතී. මෙවැනි තර්ජනාත්මක මෘදුකාංග තුළින් ජනතාවගේ ජංගම දුරකතනවලට බලපෑම් සිදුවීම වළක්වා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් ද ? මෙවැනි තත්ත්වයක් තුළ, ශ්‍රී ලාංකික ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට සහ ජංගම දුරකතන සේවා සපයන ආයතනවලටයි.