පස්සර මාරක අනතුර:ටිපර් රියැදුරු අත්අඩංගුවට

පස්සර මාරක බස් අනතුර: පළා ගිය ටිපර් රථ රියැදුරු අත්අඩංගුවට

by Staff writer 21-03-2021 | 7:55 AM

COLOMBO (News 1st) – පස්සර රිය අනතුර සිදුවීමත් සමග පළා ගිය ටිපර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මියගිය පුද්ගලයින්ගේ සිරුරු ද මේ වනවිට හඳුනාගෙන ඇති බවයි. අනතුරින් මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු වෙනුවෙන් රුපියල් 30,000 ක සහන මුදලක් ලබා දීමට ඌව පළාත් සභාව තීරණය කර තිබේ. බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පතිරණ මහත්මිය පැවසුවේ, එම පුද්ගලයින්ගේ අවසන් කටයුතු ප්‍රාදේශීය සභාවල සහයෙන් සිදුකිරීමට ද තීරණය කර ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ 30 දෙනෙකු මේ වනවිට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබයි. ඉන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතලයි. තවත් දෙදෙනෙකු පස්සර රෝහලේ ප්‍රතිකාර ලබයි. එම අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14 කි. මේ අතර අනතුරට ලක්වූ බස් රථය සම්බන්ධයෙන් මෝටර් වාහන පරීක්ෂකවරුන් විසින් තාක්ෂණික පරීක්ෂාවක් පැවැත්වීමට නියමිත බව පොලීසීය පවසයි. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ , අනතුරින් බස් රථයට පූර්ණ හානි වීම හේතුවෙන් ඒ සඳහා කිසියම් කාලයක් ගතවිය හැකි බවයි. මේ අතර පස්සර මාරක රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත්කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ , එම කමිටුවේ නිර්දේශ මත ඉදිරි පියවර ගන්නා බවයි. පසුගිය කාලයේ බරපතල රිය අනතුරුවලට ලක්වූ අන්තර් පළාත් බස් රථ වල බලපත්‍ර අත්හිටුවා ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර බීමත්ව සහ මාර්ග නීති කඩ කරමින් රිය ධාවනය කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුම් මේ වනවිට ක්‍රියාත්මක බව ද පොලීසිය පවසයි.