UPDATE: පස්සර බස් අනතුරින් රියැදුරු ඇතුළු 15 ක් මරුට..

by Staff writer 20-03-2021 | 1:09 PM

COLOMBO (News 1st) - පස්සර 13 කණුව ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 32 කි. බස් රථයේ රියැදුරා ද අනතුරින් මියගොස් තිබේ. මේ අතර අප කළ විමසීමකදී බදුල්ල රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ, අනතුරින් තුවාල ලැබූ 30 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි. ඉන් 16 දෙනෙකු කාන්තාවන් ය. තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයින් සංඛ්‍යාව 14ක්ද සිටී. ඒ, අතර වයස අවුරුදු 11 ත් 13 ත් අතර වයස්වල පසුවන තිදෙනෙකු ද වේ. රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ, බරපතල තත්ත්වයේ පසුවන දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. තුවාල ලැබූ තවත් 07 දෙනෙකු ශල්‍යකර්ම සඳහා යොමු කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් අද පෙරවරු 7.15 ට පමණ අනතුරට ලක්වන විට එහි මගීන් 45 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇත.