පස්සර මාරක රිය අනතුර‌ට හේතුව?

පස්සර මාරක රිය අනතුර‌ට හේතුව?

by Staff writer 20-03-2021 | 9:33 PM

COLOMBO (News 1st) – බදුල්ල - පස්සර 13 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 14 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

යුද හමුදාව, පොලීසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහය ද ඇතිව තුවාල ලැබූවන් බේරා ගත්තේ ය. ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී අද(20) පෙරවරු 7.15 ට පමණ බස් රථය පෙරළී ගිය ආකාරය CCTV කැමරාවක ද සටහන්ව තිබුණි. කුඩා දරුවන් පිරිසක් ද බස් රථයේ සිටි අතර, තුවාල ලැබූවන් රැගෙන ආවේ පස්සර රෝහලටයි. පොලීසිය පැවසුවේ, මෙම අනතුරින් පුද්ගලයින් 33 දෙනෙකු තුවාල ලැබූ අතර, බස් රථයේ රියැදුරු ද අසාධ්‍ය තත්ත්වයේ සිටින බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා
රියැදුරු අසුනේ පුද්ගලයෙක් සිරවී සිටියා. ඔහු පිටතට ගත්තා. ඒ වෙද්දී ඔහු මියගොස් සිටියා. ඒ අවස්ථාවේදී වාර්තා වූයේ රියැදුරු මියගොස් ඇති බව නමුත් මේ වනවිට වාර්තා වන්නේ ඔහු රියැදුරු නොවන බවයි. රියැදුරු අසාධ්‍ය තත්ත්වයේ පවතිනවා. ඔහු 53 හැවිරිදි පුද්ගලයෙක්. ලුණුගල ප්‍රදේශයේ පදිංචි.
කාන්තාවන් 13 දෙනෙකු, පුද්ගලයින් 15 දෙනෙකු සහ දරුවන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලීසිය ප්‍රකාශ කළේ ය. රෝහල් බලධාරීන් පැවසුවේ බරපතල තත්ත්වයේ සිටි සිව් දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. ප්‍රදේශවාසීන් පවසන්නේ, මාර්ගයට පෙරළී ඇති ගලක් මෙම අනතුරට එක් හේතුවක් බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මේ පිළිබඳ අදහස් දැක්විය. "මේ ගල සම්බන්ධයෙන් මම කොන්ත්‍රාත් සමාගමට කිව්වා මේකෙන් ඉක්මණට ඉවර කරන්න කියලා. ඒක ඉවර කරගන්න බැරි වුණා . මම හිතනවා මේ සිද්ධියට එක හේතුවක් තමයි මේ ගල නිසා පාර අවහිර වීම" ප්‍රපාතයට පෙරළුණු බස් රථය අද දිනයේ ගොඩ ගැනීමට නොහැකි වනු ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, අනතුර සම්බන්ධයෙන් තාක්ෂණික පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගන්නා බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා
"මේ ද්විත්ව වංගුව තියෙන තැන විමර්ශනය කළා. ඒ අසළ තියෙන අනෙකුත් සාක්ෂි පරීක්ෂා කරද්දී පෙනී යන්‍නේ රියැදුරුට මේක පාලනය කරගන්න බැරි වෙනවා. තාක්ෂණික පරීක්ෂාවක් මේ ගැන කරන්න සූදානම්. බස් රථය අලාභ වී ඇති නිසා ටික කාලයක් ගත වෙයි . රියැදුරා විසින් යුතුකම පැහැර හැර තියෙනවා . මෝටර් වාහන ප්‍රතිපාදන යටතේ අනතුර වළක්වා ගැනීම රියැදුරාගේ වගකීමක්. කඳුකර ප්‍රදේශයේ මෙවැනි අනතුරු 30ක් විතර වාර්තා වුණා. මගී ප්‍රවාහන රියැදුරන් , වේගයෙන් ගමන් කිරීම නිරන්තයෙන් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන තියෙනවා. මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ කරා යොමු කෙරෙනවා. ඒ වගේම විශේෂයෙන් අද සිට මාසයක කාලයක් නිරන්තර රථ වාහන පරීක්ෂා සිදුවනවා"