අගමැති සහ බංග්ලාදේශ ජනපති,අගමැති අතර අද සාකච්ඡා

අගමැති මහින්ද සහ බංග්ලාදේශ ජනපති, අගමැති අතර අද ද්විපාර්ශවික සාකච්ඡා..

by Staff writer 20-03-2021 | 7:55 AM

COLOMBO (News 1st) - දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද බංග්ලාදේශ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය හමු වී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ඩකා අගනුවරදී එරට විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමන් මහතා හමුවී ද්වීපාර්වික සාකච්ඡාවල නිරත විය. අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ, මෙම හමුවේදී දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික මෙන්ම වාණිජ හා ආයෝජන සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කර ගැනීම පිළිබඳව වැඩි අවධානයක් යොමු වූ බවයි. 2022 වසර වනවිට ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50ක් සම්පූර්ණ වේ. පසුගිය වසරවල බංග්ලාදේශයේ පවතින ආර්ථික වර්ධන වේගය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකේය ආයෝජකයින් රැසක් මේ වනවිට බංග්ලාදේශයේ ආයෝජනවල නිරතව සිටින බව සඳහන් කළේ ය. අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් ඒකාබද්ධ උපදේශන කොමිසම ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවී ඇති බවයි. දෙරටේ විදේශ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ඒකාබද්ධ උපදේශන කොමිසම ක්‍රියාත්මක වේ.