අගමැතිගෙන් බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරියට ආරාධනාවක්

අගමැති මහින්දගෙන් බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරියට ආරාධනාවක්

by Staff writer 20-03-2021 | 4:37 PM

COLOMBO (News 1st) – බංග්ලාදේශයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(20) එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසිනා මහත්මිය හමුවිය.

ඒ, බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ය. දෙරට අතර රාජ්‍ය ත්‍රාන්ත්‍රික සබඳතාවලට වසර 50 ක් සම්පුර්ණ වන 2022 වසරේදී එය සැමරිම සඳහා ගෞරවණීය රාජ්‍ය ත්‍රාන්ත්‍රික අමුත්තෙකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසිනා මහත්මියට අග්‍රාමාත්‍යවරයා ආරාධනා කළේ ය. බංග්ලාදේශ නිදහස් සැමරුමේ ස්වර්ණ ජයන්තියට ආරාධනා කිරීම පිළිබඳව සිය ස්තුතිය පළ කළ මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ , ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ ශ්‍රී ලාංකික ජනතාවගේ සුබ පැතුම් බංග්ලා‍දේශ ජනතාව වෙත පිරිනමන බවයි. දෙරට අතර ද්විපාර්ශවිය සබඳතා වර්ධනය වීමට මෙම සංචාරය ඉවහල් වූ බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේ ය. දෙරට අතර ද්විපාර්ශවිය සාකච්ජා ආරම්භ වීමට ප්‍රථම මෙම හමුව පැවති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.