''රජය වනාන්තර කපා දමන්න අනුබල දී නැහැ'' - ජනපති

''රජය කිසිවිටෙක වනාන්තර කපා දමන්න අනුබල දී නැහැ'' - ජනපති

by Sagarika Chathumali 19-03-2021 | 12:34 PM

COLOMBO (News 1st) : රජය කිසිවිටෙකත් වනාන්තර කපා දැමීමට අනුබල දී නැතැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලීය සභා ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාන්තා නියෝජිතවරියන් හා ක්‍රියාකාරිනියන්ගේ හමුව අමතමිනි. ජනාධිපතිවරයා පැවසුවේ, ගොවීන්ට පාරම්පරික ඉඩම් අහිමි වී ඇත්නම් ඊට විසඳුමක් දීම පරිසර විනාශයක් නොවන බවයි. තව ද කටු පොල් වගාව නතර කිරීමෙන් දිස්ත්‍රික්ක ගණනාවක සිදු වෙමින් තිබූ පරිසර හානියට තිත තැබු බවත් , පරිසරය නියාමනය කරනවා සේම සංවර්ධනය කිරීම ද අවශ්‍ය බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ ය. ආනයන සීමා කිරීම් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළේ ය. රට තුළ වගා කළ හැකි භෝග ද්‍රව්‍ය 17ක් හඳුනාගෙන ඒවා ආනයනය සීමා කළ බව සිහිපත් කළ ජනාධිපතිවරයා පැවසුවේ, මේ වන විට ගොවීන් එම භෝග රට තුළ වගා කිරීම ආරම්භ කර ඇති බවයි. ආනයනය භාණ්ඩ මිල තීරණය වන්නේ ලෝක වෙළෙඳපොළ බලවේග අනුව බවත් ඒවායේ මිල පාලනය කළ හැක්කේ බදු අඩු කිරීම මගින් බව ජනාධිපතිවරයා  පැවසී ය. තවද 2030 වන විට බලශක්ති අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය මූලාශ්‍ර මගින් සපුරා ගැනීමට සැලසුම් කර ඇති බවත් එය නිසැකව පරිසර සංරක්ෂණයට විශාල පිටිවහලක් වනු ඇති බවත් එහිදී සඳහන් කෙරිණ. මේ අතර මත්ද්‍රව්‍ය පාලනය සඳහා ක්‍රියාත්මක විධිමත් වැඩපිළිවෙළ යටතේ මත් උවදුර මුලිමනින් තුරන් කිරීමට යම් කලක් ගතවනු ඇති බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය. තමාගේ අවංක උත්සාහය රට ගොඩනැගීමෙන් ජනතාවට සමෘද්ධිය අත්කරදීම බව සඳහන් කළ ජනාධිපතිවරයා එම අරමුණ දිනාගැනීම සඳහා එක්ව වැඩකරමු යැයි , පොදුජන පෙරමුණු කාන්තා නියෝජිතවරියන් හමුවේ පැවසී ය. ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ නායිකා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය ඇමතිනි සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ, සෑම දිස්ත්‍රික්කයකින්ම කාන්තා ක්‍රියාකාරිණිහූ, ප්‍රාදේශීය සභා මන්ත්‍රීනීහූ ඇතුළු පිරිසක් අවස්ථාවට එක්ව සිටියහ.