කච්චතිව් මුදා ගැනීමට ඉන්දීය රජය කටයුතු කරනවා

කච්චතිව් මුදා ගැනීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු කරනවා.. - ඉන්දීය මහාමාර්ග සහ නාවික ගමනාගමන කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති

by Staff writer 19-03-2021 | 9:52 PM

COLOMBO (News 1st) : කච්චතිව් මුදා ගැනීම සඳහා ඉන්දීය මධ්‍යම රජය කටයුතු කරන බව එරට මහාමාර්ග සහ නාවික ගමනාගමන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ජෙනරල් වී.කේ.සිං මහතා සඳහන් කර තිබේ.

ඉන්දියාවේ -ද හින්දු- පුවත්පත වාර්තා කර ඇත්තේ රාමනාදපුරම්හි පැවැති උත්සවයකින් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා එසේ සඳහන් කර ඇති බවයි. කච්චතිව් ගැටලුව ජාත්‍යන්තර ප්‍රශ්නයක් නොවන බවත්, චීන රජය ලංකාව සමග සහයෝගයෙන් සිටියත් ඉන්දියාව ශ්‍රී ලංකාවට සමීපම මිත්‍ර රට බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර තිබේ. මේ අතර හෙරොයින් හා ගිනි අවි ප්‍රවාහනය කරමින් තිබූ ශ්‍රී ලාංකික බෝට්ටු තුනක් ඉන්දීය නාවික හමුදාව හා වෙරළාරක්ෂක බලකාය භාරයට ගෙන තිබේ. විදෙස් වාර්තාවල දැක්වෙන්නේ, ලක්ෂාදිප් මුහුදු තීරයේදී එම බෝට්ටුවල තිබී හෙරොයින් මෙන්ම ඒ.කේ. 47 වර්ගයේ ගිනි අවි සහ උණ්ඩ 1000 ක් සොයාගත් බවයි. ලද තොරතුරකට අනුව ඉන්දීය දකුණු නාවික විධානයේ ඩ්‍රෝන යානයක් මෙම බෝට්ටු නිරීක්ෂණය කර ඇතැයි එම වාර්තාවල සඳහන් ය. අදාළ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී ශ්‍රී ලාංකික බෝට්ටු ඉන්දීය අත්අඩංගුවට පත් දෙවැනි අවස්ථාව මෙයයි. ඉකුත් 05 වැනිදා ද ශ්‍රී ලාංකිකයින් 19 දෙනෙකු සමග බෝට්ටු 3 ක් ඉන්දීය ආරක්ෂක අංශ භාරයට ගැනුණි.