COLOMBO (News 1st) : 21 වැනි සියවසේදී ආසියාවේ සමෘද්ධිය කෙරෙහි මහත් අපේක්ෂාවෙන් සිටින නව පරම්පරාව නිදහස ලබා ගැනීමට සිය මුතුන් මිත්තන් කළ අසීමිත පරිත්‍යාගයන් පිළිබඳ දැනුම්වත් විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ , බංග්ලාදේශයේ , ඩකා නුවර පැවති එරට නිදහස් ස්වර්ණ ජයන්ති උත්සවය අමතමින් ය.
බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ අග්‍රාමාත්‍ය ෂේක් හසීනා මහත්මියගේ ආරාධනාවක් පරිදි අග්‍රමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා එරටට සම්ප්‍රාප්ත වූයේ අද උදෑසනයි.
ඩකා හී "හස්රත් ෂාජලාල්" (Hazrat Shahjalal International Airport) ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී බංගලාදේශ අග්‍රාමාත්‍යවරිය විසින් මෙරට අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගනු ලැබුවේ ය.
අනතුරුව එරට නිදහස් සටනේදී දිවි පිදුවන්ගේ ස්මාරකයට ගෞරව දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමුත්තන්ගේ සමරු ග්‍රන්ථයෙහි සටහනක්ද තැබූවේ ය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බංගලාදේශ සංචාරය සිහිපත්වීම සඳහා එරට නිදහස් සටන වෙනුවෙන් දිවි පිදූවිරු ස්මාරකය අසළ පැලයක්ද රෝපණය කෙරිණි.
සංචාරයේ පළමු දිනය වන අද දිනයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මෝමන් අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විය .
එහිදී දෙරට අතර දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම දිගුකාලීන වාණිජ හා ආයෝජනා සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.
අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්ති සැමරුම හා බංග්ලාදේශයේ පියා ලෙස සැලකෙන ෂෙයික් මුජිබර් රහුමාන් මැතිතුමන්ගේ සිය වැනි ජන්ම දින සැමරුම් උත්සවයට සහභාගී විය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
මේ 21 වැනි ශතවර්ෂයේ ආසියානු සමෘද්ධිය පිළිබද අතිමහත් අපේක්ෂාවෙන් සිටින අපේ නව පරම්පරාව නිදහස ලබා ගැනීම සඳහා තමන්ගේ මුතුන්මිත්තන් කළ අසීමිත පරිත්‍යාගන් පිළිබඳ දැනුවත් විය යුතුයි. අසල්වැසියෙකු හා සමීප මිතුරෙකු ලෙස වැඩි නිදහසක් හා සමෘද්ධියක් අත්පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමග එක්ව සිටිනවා. විශාල අභියෝග මැද වුවත් ආර්ථික පරිවර්තනය, දරිද්‍රතාව තුරන් කිරීම හා තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා අපි ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙනවා. ගරු අගමැතිතුමියනි, බෙංගාල බොක්කෙහි නිල් ආර්ථිකයක් ඇති කිරීමේ ඔබේ යෝජනාව සමුද්‍රිය කටයුතු පිළිබඳ ඔබගේ ප්‍රවේශය අඛණ්ඩව දිරිගැන්වීමක්. කෘෂිකාර්මික ක්ෂ්‍රේත්‍රය තුළ බංග්ලාදේශය ලබා ඇති දියුණුව ශ්‍රී ලංකාවේ දැඩි අවධානයට ලක්වූවක්. මේ ක්ෂ්‍රේත්‍රය තුළ වඩා සමීප සහයෝගිතාවක් බෙදා හදාගැනීමට මම බංග්ලාදේශ රජයේ මැදිහත්වීම අපේක්ෂා කරනවා.
දෙදින නිල සංචාරය තුළ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එරට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.