COLOMBO (News1st) - ටැන්සානියා ජනාධිපති ජෝන් මැගෆුලි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඩාර් එස් සලාම්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී 61 හැවිරිදි ජනාධිපති ජනාධිපතිවරයා හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ බව නිවේදනය කර ඇත්තේ එරට උප ජනපතිනි සමියා සුලූහු හසන් විසිනි.
සති දෙකක කාලයක සිට ජනාධිපතිවරයා ප්‍රසිද්ධයේ පෙනී නොසිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අතර ජනාධිපතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී සිටි බවට කටකතා පැ.තිර ගිය ද ඒ පිළිබඳව මෙතෙක් සනාථ වී නොමැත.
ජනාධිපතිවරයාගේ අභාවයත් සමග ටැන්සානයාවේ දින 14ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ටැන්සානියා ව්‍යවස්ථාවට අනුව උප ජනපතිනිය ජනපති ධුරයට පත්වන අතර ඒ අනුව හසන් මහත්මිය ජනාධිපතිවරයාගේ අභාවයෙන් පසු ඉතිරි ධුර කාලය තුළ ටැන්සානියා ජනපති ලෙස කටයුතු කරනු ඇති .
ගුරුවරයෙකු වූ අභාවප්‍රාප්ත ජනාධිපතිවරයා 1995 වසරේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ අතර 2000 වසරේදී කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවිය.
ටැන්සානියා ජනපති මියගියේ කොරෝනා නිසා ද?
ටැන්සානියා ජනාධිපතිවරයා මියගියේ, හෘද රෝගී තත්ත්වයක් නිසා බවට උප ජනාධිපතිවරයා පැවසුව ද එරට විපක්ෂ දේශපාලනඥයින් පවසන්නේ, ජනාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කොරෝනා වැළඳීමෙන් බවටයි.
කෙසේ වෙතත් අභාවප්‍රාප්ත ජනාධිපතිවරයා පසුගිය ජූනි මාසයේදී ටැන්සානියාව කොරෝනාවලින් තොර රටක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර ඔහු මුව අවරණ පැළඳීම සමච්චලයකට ලක් කරමින් , කොරෝනා පරීක්ෂාවන් පිළිබඳ විශ්වාස නොකර, කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍යරාක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ රටවල් විහිළුවට ලක් කළ බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අතර ටැන්සානියාව පසුගිය මැයි මාසයෙන් පසු එරෙට කොරෝනා ආසාදිතයින් පිළිබඳ තොරතුරු හෙළි නොකළ අතර වෛරස මර්දන එන්නත් මිලදී ගැනීම ද ප්‍රතික්ෂේප කළේ ය.