21 ප්‍රහාරයේ වාර්තාව: විවාදයේ දින තීරණය වෙයි

21 ප්‍රහාරයේ වාර්තාව: කල්තැබීමේ විවාදයේ ඉතිරි දින දෙක ප්‍රසිද්ධ කෙරේ

by Staff writer 17-03-2021 | 4:45 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයේ ඉතිරි දින දෙක ලබන 25 සහ 26 දෙදින පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර තිබේ.

එම තීරණය ගනු ලැබුවේ, අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීය. මීට අමතරව දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ද විවාදයක් පැවැත්වීමට විපක්ෂය කළ යෝජනාවට ආණ්ඩු පක්ෂය ද එකඟ විය. එහෙත් ඒ සඳහා නිශ්චිත දිනයන් අද සාකච්ඡාවේදී ප්‍රකාශයට පත් වී නොමැත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බැවින් එම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා දින දෙකක් වෙන් කිරීමට පක්ෂ නායකයින් අද තීරණය කර තිබේ. ඒ අනුව අප්‍රේල් මාසයේ ඇතුළත ඒ සඳහා දින දෙකක් ලබා දීමට නියමිතය.