ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් සහ MTV ලිඛිත දේශන ගොනු කරයි

ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් සමාගම සහ MTV සමාගම ලිඛිත දේශන ගොනු කරයි

by Staff writer 17-03-2021 | 10:42 PM

COLOMBO (News 1st) - ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගම, එම්.ටී.වී චැනල් පුද්ගලික සමාගමට එරෙහිව පැවරූ නඩුවට අදාළව දෙපාර්ශවයම අද දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා හමුවේ ලිඛිත දේශන ගොනු කර තිබේ.

එම්.ටී.වී චැනල් පුද්ගලික සමාගම ගොනු කළ ලිඛිත දේශනයේ දැක්වෙන්නේ “දිලිත් ජයවීරගේ ක්‍රියා කලාපය අනූව පෙනී යන්නේ ඔහු අපහාස නීතිය අපයෝජනය කරමින් නිදහස් ස්වාධීන මාධ්‍ය ආයතන තැති ගන්වමින් නිස්සාර නඩු පැවරීමට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවයි.” අතුරු තහනම සඳහා වූ අයැදුම්පත ප්‍රතික්ෂේප කරන ලෙස හා පැමිණිලිකරුගේ ක්‍රියාමාර්ගය බැහැර කරන ලෙස තම ලිඛිත දේශනයෙන් මූලික විරෝධතා ගණනාවක් ඉදිරිපත් කර එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම ඉල්ලා සිටියේ ය. එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම තම ලිඛිත දේශනයෙන් අධිකරණයට තවත් කරුණු කිහිපයක් පෙන්වා දුන්නේ ය. ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම කරුණු සඟවා අධිකරණය නොමග යවා නීතිමය ක්‍රියාවලිය අනිසි ලෙස භාවිතා කරමින් ඇතැයි යන්න අධිකරණයට පෙන්වා දුන් ප්‍රධාන කරුණකි. දිලිත් ජයවීර මහතා අපහාස නීතිය අපයෝජනය කරමින් නිදහස් ස්වාධීන මාධ්‍ය ආයතන තැති ගන්වමින් නිස්සාර නඩු පැවරීමට ඇබ්බැහිවූවෙකු බව අධිකරණයට පෙන්වා දුන්නේ කොළඹ දිසා විනිසුරුවරයා විසින් ඉවත දමන ලද බී.බී.සී.යට එරෙහිව ජයවීර මහතා විසින් ගොනු කළ නඩුකරය ඉදිරිපත් කරමින් ය. තවද අධිකරණයට එන පුද්ගලයෙකු පිරිසිදු දෑතින් නඩුවට අදාළ සියලු කරුණු ඉදිරිපත් කළ යුතු බවත් එසේ නොවන්නේ නම් අධිකරණය නොමග යැවීමේ වරදට වරදකරු වන බවත් ඔහු හෝ ඇය ඉදිරිපත් කරන්නා වූ පෙත්සම හෝ අයදුම ඉවත දැමිය යුතු බවත් මේ වසරේ මාර්තු 15 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති නියෝගයක සඳහන් බව දැක්වේ. තහනම් නියෝගය ලබා ගැනීමට අදාළව කිසිදු සාධකයක් ඉදිරිපත් කර නොමැති බව එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම පෙන්වා දෙමින් සඳහන් කර ඇත්තේ, පැමිණිලිකාර සමාගමේ සභාපති දිලිත් ජයවීර මහතා හිතාමතාම ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම පිටුපස සැඟවී සිට තමාට වක්‍රව සහනයක් ලබා ගැනීම සඳහා මාධ්‍ය යටපත් කිරීමට අධිකරණ ක්‍රියාවලිය අනිසි ලෙස භාවිතා කර ඇති බවයි. තම ආයතනය විශ්වාසනීය හා ගෞරවනීය මාධ්‍ය ආයතනයක් බවත්,සාධරණීය කරණය හා සාධාරණ අදහස් දැක්වීමේ වරප්‍රසාදය යන විත්ති වාචිකයන් අනුගමනය කර ඇති බවද අදාළ ලිඛිත දේශනයෙන් එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය. මෙම කරුණට අදාළව 2020 නොවැම්බර් මස 11 - 13 - 16 - 19 යන දිනවලදී ප්‍රවෘත්ති විකාශය කෙරුණේ මහජනතාවගේ සුබ සිද්ධියට බවද එහි සඳහන්. අධිකරණය විසින් මෙම නඩුව මැයි 7 වැනි දා කැඳවීමට නියෝග කර තිබේ. ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා,නීතිඥවරුන් වන මියුරු ඉගලහේවා,එන්.කේ අශෝක්බරන්,දමිත කරුණාරත්න,නිරන්ජන් අරුල්ප්‍රගාසම් සහා ජීවන්ත ජයතිලක යන මහත්වරුන් නීතිඥ ජී.ජී.අරුල් ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත එම්.ටී.වී චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් නඩුවට පෙනී සිටියේ ය.