හිටපු DIG වාස් සහ බිරිඳ නිදොස් කොට නිදහස්

හිටපු DIG වාස් සහ බිරිඳ ශ්‍යාමලී ඉඩම් නඩුවෙන් නිදොස් කොට නිදහස්

by Staff writer 15-03-2021 | 2:53 PM

COLOMBO (News 1st) : හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳ වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා ඉඩම් නඩුවකින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේ ය.

ඒ, මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවේ අද නඩුව කැඳවු අවස්ථාවේදියි. කූඨ ලේඛන සකස් කර, මහරගම ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් අක්කර එක හමාරක් අත්පත් කර ගැනීම ඇතුළු අධිචෝදනා යටතේ, නඩුව පවරා තිබිණ. ගනුදෙනුව සිදුව ඇත්තේ, 1996 වසරේදී බවත්, නීතිපතිවරයා ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ, නඩු පැවරිය හැකි කාලාවරෝදය ඉක්මවා යාමෙන් අනතුරුව බවත් පෙන්වා දෙමින් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍රය කියවා දීමට පෙර මූලික විරෝධතාවක් ඉදිරිපත් කළේ ය. මූලික විරෝධතාව ඉදිරිපත් කළ අවස්ථාවේ නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගත්තේ ය. ඒ අනුව, හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳ වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරිමට විනිසුරුවරයා නියෝග කළේ ය.