මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ඉවත් වීමට සැරසෙයි

'වැඩ බැරි තානාපති' ලෙස Facebook සටහනක් තබමින් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ඉල්ලා අස්වීමට සැරසෙයි

by Staff writer 15-03-2021 | 3:46 PM

COLOMBO (News 1st) : තානාපති තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි.

කෙසේ වෙතත් ධීවර ප්‍රශ්නය නිම වනතුරු හා විදේශ අමාත්‍යවරුන්ගේ බිම්ස්ටෙක් රැස්වීම පැවැත්වෙන තුරු තනතුරේ රැඳී සිටීමට බලාපොරොත්තු වන බව ඔහු කියා සිටියේ ය. තම පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ 'වැඩ බැරි තානාපති' ලෙස සටහනක් තබමින් මහාචාර්ය නලින් ද සිල්වා මහතා සිය තීරණය පිළිබඳව කරුණු පැහැදිලි කර තිබේ. https://www.facebook.com/nalinkalaya/posts/1348506105528778 ශ්‍රී ලාංකිකයින් ධීවරයින්12 දෙනෙකු දැනට මියන්මාර අත්අඩංගුවේ සිටින අතර තානාපතිවරයා පෙන්වා දෙන්නේ, එම අත්අඩංගුවට ගැනීම පිළිබඳව මියන්මාර ශ්‍රී ලංකා තානාපති කාර්යාලට නිල දැනුම් දීමක් කර නොමැති බවයි. ඔහු ෆේස්බුක් සටහනේ දක්වා ඇත්තේ, නිරන්තර උත්සාහයෙන් පසු එක් දිනක් පොලිස් නිලධාරියෙකු මාර්ගයෙන් ධීවරයින් සමග කතා කිරීමටත් ඔවුන්ගේ සුවදුක් හා නීතිමය තත්ත්වය සාකච්ඡා කිරීමට හැකිවූ බවයි. තමා අකාර්යක්ෂම, අධ්‍යක්ෂ, අසමත් තානාපතිවරයෙකු බව හැඟී යන බවත් නිල නොවන වශයෙන් කටයුතු කිරිමට මියන්මාරයේ තමා දන්නා අඳුරන අය නොමැති බවත් ඔහුගේ ෆේස්බුක් සටහනේ සඳහන් ය. මේ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් කළ විමසුමකදී නලින් ද සිල්වා මහතා කියා සිටියේ, තම තීරණය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇති බවයි. සිය ඉදිරි රාජකාරි කටයුත්ත අවසන් වන තුරු ධුරයේ රැඳී සිටින බවත් ඔහු කියා සිටියේ ය. ධීවරයින් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් මියන්මාර රජයේ නිලධාරින් මට්ටමින් කටයුතු කරගෙන යන බව ද නලින් ද සිල්වා මහතා කියා සිටියේ ය.