රම්බොඩදී අතුරුදන් වූ තරුණයාට සිදු වුණේ කුමක්ද?

රම්බොඩදී අතුරුදන් වූ තරුණයාට සිදු වුණේ කුමක්ද?

by Staff writer 14-03-2021 | 10:24 PM

COLOMBO (News 1st) - පසුගිය 12 වැනිදා කොත්මලේ, රම්බොඩ ප්‍රදේශයේ සංචාරක නිකේතනයකදී අතුරුදන් වූ තරුණයා, තුවාල ලබා සිටියදී

අද පස්වරුවේ සොයා ගැනිණි. ඒ යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය රම්බොඩ ඔය රක්ෂිතයේ ක්‍රියාත්මක කළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුවයි. මෙලෙස අතුරුදන් වූයේ පසුගිය 11වැනිදා ශ්‍රී පාදස්ථානය වැඳ පුදාගැනීමෙන් අනතුරුව යළි පැමිණෙමින් සිටි 33 හැවිරිදි තැනැත්තෙකි. ඔහු අනුරාධපුරයේ සිට ශ්‍රී පාදස්ථානය වෙත පැමිණ තිබුණි. ඔහු සමග තවත් 7 දෙනෙකු ශ්‍රී පාදස්ථානයේ සිට නුවරඑළිය හරහා කොත්මලේ රම්බොඩ ප්‍රදේශයේ පිහිටි සංචාරකක නිකේතනයකට පැමිණ තිබුණේ පසුගිය 12 වැනිදායි. එහි පැවති සාදයකින් පසුව එම පුද්ගලයා අතුරුදන්ව ඇති බව පොලීසිය සඳහන් කළේය. පොලීසිය ඊයේ පස්වරුව වනතෙක් ඔහු සොයා ගැනීමට උත්සාහ කළත්, සාර්ථක වූයේ නැහැ. අද පෙරවරුවේ යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ සෙබළුන් 37 දෙනෙකු, නුවරඑළිය විශේෂ කාර්ය බලකා සාමාජිකයින් 15 දෙනෙකු පොලීසිය සමග එක්ව මෙහෙයුමක් ඇරඹුවේය. අප වාර්තාකරු පැවසුවේ රක්ෂිතයේ අක්කර 50 ක පමණ කොටසක් ආවරණය වන පරිදි එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි. එහිදී රම්බොඩ ඔය රක්ෂිතයේ ගල් තලාවක් මත සිටියදී අද දහවල් අතුරුදහන් වූ තරුණයා සොයා ගැනීමට හැකි විය. මෙහයුමට එක්ව සිටි නිලධාරීන් පැවසුවේ සොයා ගන්නා අවස්ථාවේදී එම පුද්ගලයාගේ සිරුරේ තුවාල රැසක් දක්නට ලැබුණු බවයි. වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර තිබේ.