2022 වනවිට ආසියාවට කොරෝන එන්නත් බිලියනයක්

2022 වනවිට ආසියාවට කොරෝනා එන්නත් බිලියනයක් ලබා දීමට කොඩ් සමුළුවේදී එකඟතාවක්

by Staff writer 13-03-2021 | 9:57 AM

News 1st - 2022 වසර වනවිට ආසියානු කලාපයට කොරෝනා මර්දන එන්නත් බිලියනයක් ලබා දීමට කොඩ් සමුළුවේදී එකඟ වී තිබේ.

කොඩ් සමුළුව ප්‍රථම වරට ඔන්ලයින් ඔස්සේ පැවැත්වුණේ අමෙරිකා, ඉන්දියා, ජපාන හා ඕස්ට්‍රේලියානු රාජ්‍ය නායකයින්ගේ ප්‍රධානත්වයෙනි. එහිදී රාජ්‍ය නායකයින් එකඟ වී ඇත්තේ එක් මාත්‍රාවක් පමණක් ලබාදීමට හැකි කොරෝනා මර්දන එන්නතක් ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමටයි. ඒ සඳහා අමෙරිකාව තාක්ෂණික හා මූල්‍යමය සහායත්, ජපානය මූල්‍යමය සහායත් හා ඕස්ට්‍රේලියාව බෙදාහැරීමේ සහායත් ලබාදීමට එකඟ වී තිබේ. මීට අමතරව ආසියානු කලාපයේ චීනයේ ස්ථාවරත්වය සීඝ්‍රයෙන් වර්ධනය වීම පිළිබඳව ද කොඩ් රාජ්‍ය නායකයින්ගේ අවධානයට යොමු විය. විදෙස් වාර්තා පැවසුවේ, සමුළුවෙන් අනතුරුව රාජ්‍ය නායකයින් සෘජු නොවන ලෙස චීනය සම්බන්ධයෙන් මත පළ කළ ද ආසියානු කලාපය තුළ නිදහස හා විවෘතභාවය පවත්වාගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයින් ප්‍රතිඥා ලබාදී දී ඇති බවයි. 2004 වසරේ දකුණු ආසියානු කලාපයට බලපෑ සුනාමි ඛේදවාචකය හමුවේ මෙම රටවල් 4 මුල් වරට එක්ව ක්‍රියා කළේ ය. පසුව ආසියානු කාලපය තුළ චීනය සීඝ්‍රයනේ ස්ථාවරවීම හමුවේ එම මිත්‍රත්වය රාජ්‍ය තාන්ත්‍රික සමුළුවක් ලෙස පුළුල් වූයේ අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න්ගේ අදහසකට අනුවයි.