ශ්‍රී ලංකා ධජය සහිත පාපිසි අලෙවි දැන්වීම ඉවතට

ශ්‍රී ලංකාවේ ධජය මුද්‍රණය කර තිබූ පාපිසි අලෙවි දැන්වීම Amazon වෙබ් අඩවියෙන් ඉවත් කෙරේ

by Staff writer 13-03-2021 | 4:52 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ධජය සහිත පාපිසි සහ එවැනි නිෂ්පාදන විකිණීම වහාම නතර කරන්නැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අදාළ සමාගමෙන් ඉල්ලීමක් කර තිබේ.

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ , මේ වනවිට එම දැන්වීම ඇමර්සන් (Amazon) ආයතනය සිය වෙබ් අඩවියෙන් ඉවත් කර ඇති බවයි. ශ්‍රී ලංකා ධජය අනිසි ලෙස භාවිත කරමින් පාපිසි සහ එවැනි දෑ නිෂ්පාදනය නතර කිරීමට පියවර ගන්නැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ද ඉල්ලීමක් කර තිබේ. එම සිදුවීම සම්බන්ධයෙන් සමීපව අධීක්ෂණය කරමින් සිටින බව ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාවේ ධජය සහිත ඕනෑම නිෂ්පාදනයක් , නිෂ්පාදනය කිරීම හා විකිණීම අත්හිටුවීම සඳහා චීන බලධාරීන් හරහා සුදුසු පියවර ගන්නා බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.