හැරී - මේගන්ට  මහ රැජිණ උත්තර දෙයි

UPDATE: රජ පවුල හෙල්ලූ හැරී - මේගන්ට මහ රැජිණ පිළිතුරු දෙයි

by Sagarika Chathumali 10-03-2021 | 11:01 AM

COLOMBO (News 1st) : හැරී - මේගන් යුවළ පසුගිය දා රූපවාහිනී සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සිදු කළ අන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් බකිංහැම් මාළිගය දින එක හමාරකට පසුව ප්‍රතිචාර දක්වා තිබේ.

ප්‍රකාශයක් නිකුත් කරමින් බකිංහැම් මාළිගය  පවසන්නේ, රජ පවුල තුළ ඇති ජාතිවාදය සම්බන්ධයෙන් හැරී සහ මේගන් යුවළ කළ ප්‍රකාශ ඉතා බැරෑරුම් ලෙස ගන්නා බවත් එය දැඩි සැලකිල්ලට යොමු කර ඇති බවත් ය. හැරී සහ මේගන්ට පසුගිය වසර කිහිපය තුළ කෙතරම් අභියෝගාත්මක වී ඇති ද යන්න පිළිබඳව දැන ගැනීමෙන් මුළු පවුලම කනගාටුවට පත්ව සිටින බව ත්  ඔවුන් සම්මුඛ සාකච්ඡාවේදී කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් රජ පවුල පෞද්ගලිකව අවධානය යොමු කරන බව ත් එහි සඳහන් වේ. දෙවන එළිසබත් මහ රැජිණ වෙනුවෙට මෙම ප්‍රකාශය නිකුත් කරමින් මාළිගය පවසන්නේ, හැරී , මේගන් මෙන්ම පුත් ආචි සැම විට රජ පවුලේ ආදරණීය සාමාජිකයින් බවයි. හැරී - මේගන් යුවළ සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශවලට රජ පවුල මෙලෙස ප්‍රතිචාර  දක්වා ඇත්තේ, රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සමාජිකයින් රැස්ව ගනු ලැබූ තීරණයකින් පසුවයි. අමෙරිකාවේ කැලිෆෝනියාහි මේ වනවිට ජීවත් වන හැරී - මේගන් යුවළ සුප්‍රකට‌ ඔප්රා වින්ෆ්‍රි සමග විශේෂ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පසුගිය දා රජ පවුලේ ජාතිවාදය, ඔවුන් දෙදෙනාට මුහුණ දීමට සිදු වූ  මානසික පීඩනය , මාධ්‍ය සමග ඔවුන්ගේ සම්බන්ධය සහ රජ පවුලේ වෙනස්වීම යනු කරුණු පිළිබඳව ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළි කළේ ය. නම සඳහන් නොකළ රජ පවු‌ලේ සාමාජිකයෙකු ගැන සඳහන් කරමින් සම්මුඛ සාකච්ඡාවේදී මේගන් පැවසුවේ, සිය පුතු ආචි ඉපදීමටත් පෙර සිට ඔහුගේ සමේ වර්ණය පිළිබඳ පවුලේ ඇතැමුන් කතාබහ කළ බවයි. ඉපදීමටත් පෙර සිට තම පුතු ආචීගේ සම කෙතරම් අවපැහැ විය හැකි දැයි යන්න හැරී කුමරුගෙන් විමසීමට තරම් ඔවුන් පෙළඹී සිටීම ගැන ඇය එහිදී දැඩි කනගාටුවෙන් යුතුව සිහිපත් කර තිබිණ. නූතන රජ පවුලට එක් වූ පළමු මිශ්‍ර ජාතික උපතක් සහිත සාමාජිකාව වන්නේ, හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මර්කල් ය.   මුල් පුවතට මෙතැනින් පිවිසෙන්න...

? මාළිගාව හැර ගිය හැරී – මේගන් රජ පවුල හොල්ලයි