හිරුණිකාට දුන් වරෙන්තුව ආපසු කැඳවයි

හිරුණිකාට මහාධිකරණය දුන් වරෙන්තු නියෝගය ආපසු කැඳවයි..

by Staff writer 10-03-2021 | 3:37 PM

COLOMBO (News 1st) - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රමාදයක් හේතුවෙන් අද කොළඹ මහාධිකරණය ඇයට වරෙන්තු නිකුත් කර තිබේ.

එහෙත් ඇය මද වේලාවකින් පැමිණි නිසා එම නියෝගය ආපසු කැඳවීමට විනිසුරුවරයා නියෝග කරණු ලැබුවේ ය. 2015 වසරේ තරුණයෙකු පැහැරගෙන සිරකර තැබීම සම්බන්ධයෙන් විභාග වන නඩුව අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේ විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී සිටියේ නැත. ඒ අනුව ඇය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා මහාධිකරණ විනිසුරුවරයා වරෙන්තු නිකුත් කළේ ය. එහෙත් එම නියෝගය ප්‍රකාශයට පත් වී මද වේලාවකින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට පැමිණ තිබුණේ, සිය නීතිඥවරිය මාර්ගයෙනි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, මාස එක හමාරක් වයසැති බිළිඳෙකු සිටින තම සේවාදායිකාව අද පෙරවරුවේ අධිකරණ භූමියට පැමිණ රැඳී සිටි බවයි. එහෙත් නිසි වේලාවට අධිකරණ ශාලාවට ඇතුළුවීමට නොහැකි වීම හේතුවෙන් එම තත්ත්වය උද්ගත වූ බවත් ඒ සම්බන්ධයෙන් සමාව අයදින බවත් කී නීතිඥවරිය මින්පසු නිසි වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටින බවටත් සහතික වී තිබේ. ඒ අනුව විත්තිකාරිය වෙනුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා ඇය පෙර ඇප මත මුදාහැරීමට නියම කළේ ය. නිසි වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මෙහිදී විනිසුරුවරයා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අවවාද කර තිබෙන අතර නඩුව නැවත ජුනි මස 17 වැනි දා කැඳවීමට නියමිතය.