කඩු ගැන විමර්ශනයකට නීතිපති උපදෙස්

පාස්කු ප්‍රහාරය සිදු වූ කාලයේ මෙරටට ගෙන්වූ කඩු, කිනිසි ගැන විමර්ශනයක් කරන්නැයි නීතිපති උපදෙස්

by Staff writer 10-03-2021 | 4:55 PM

COLOMBO (News 1st) - පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වූ කාල වකවානුව ඊට පෙර හා පසුව විශාල ප්‍රමාණයෙන් මෙරටට ගෙන්වන ලද කඩු, කිනිසි හා ඒ හා සමාන ආයුධ සිය භාරයට ගන්නා ලෙස නීතිපතිවරයා අද පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

නීතිපතිවරයා එම උපදෙස් දී ඇත්තේ, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අභියාචනාධිකරණයට ගොනු කළ රීට් ආඥා පෙත්සමකට අදාළවයි. මීට අමතරව විශාල ප්‍රමාණයෙන් මෙරටට ගෙන්වන ලද එම ආයුධ සඟවා තබාගෙන හා ගබඩා කර අති ස්ථාන මෙන්ම ඒවා සන්තකයේ තබා ගෙන හා බෙදා හැරී ස්ථාන ද හඳුනා ගන්නා ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත. එවැනි කටයුතුවලට සම්බන්ධ පිරිස් හා එම ආයුධ ආනයනයට සම්බන්ධ පුද්ගලයින් හඳුනා ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ප්‍රතිපාදන අනුව ක්‍රියාකරන ලෙස ද නීතිපතිවරයා දුන් උපදෙස් අතර වේ. නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවේ, ඒ සම්බන්ධ වාර්තාවක් ලබන 26 වැනි දාට පෙර තමන් වෙත භාර දෙන්නැයි නීතිපතිවරයා උපදෙස් දී ඇති බවය.