මාළිගාව හැර ගිය හැරී - මේගන් රජ පවුල හොල්ලයි

මාළිගාව හැර ගිය හැරී - මේගන් රජ පවුල හොල්ලයි

by Sagarika Chathumali 09-03-2021 | 4:49 PM

COLOMBO (News 1st) : සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන හැරී - මේගන් යුවළ පසුගිය දා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රජ පවුල සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ මේ වනවිට ලොව පුරා කතාබහට ලක්වෙමින් තිබේ.

ඔවුන් දෙදෙනා මෙම ආන්දෝලනාත්මක අනාවරණයන් සිදු කර ඇත්තේ, සුප්‍රකට‌ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන ඔප්රා වින්ෆ්‍රි සමග විශේෂ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. පසුගියදා අමෙරිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවේදී හැරි කුමරුගේ බිරිඳ වන මේගන් මාර්කල් පැවසුවේ, රජ පවුල තුළදී තමන්ට සිදුවූ විවිධ මානසික පීඩන හේතුවෙන් ජීවිත්වීම පවා එපා වූ බවයි. තවද රාජකීය පවුල තුළ ජීවත්වීම අතිශය දූෂ්කර වූ බවත් වරක් තමන් මාස ගණනක් මාළිගයෙන් පිටතට නොගිය බවත් ඇය පැවසුවා ය. සම්මුඛ සාකච්ඡාව අතරතුර ඇය පවසා සිටියේ, රජ පවුල තුළ උදව් ඉල්ලා සිටි අවස්ථාවලදී පවා තමාට උදව් නොලැබුණු බවයි. තමාට රජ පවුල තුළදී වර්ණ භේදවාදයට මුහුණ දීමට සිදු වූ බවත් නම සඳහන් නොකළ රජ පවු‌ලේ සාමාජිකයෙකු ගැන සඳහන් කරමින් ඇය පැවසුවේ, සිය පුතු ආචි ඉපදීමටත් පෙර සිට ඔහුගේ සමේ වර්ණය පිළිබඳ කතාබහ කළ බවයි. ඉපදීමටත් පෙර තම පුතු ආචීගේ සම කෙතරම් අවපැහැ විය හැකි දැයි යන්න හැරී කුමරුගෙන් විමසීමට තරම් ඔවුන්  ක්‍රියාකිරීම ගැන මේගන් කනගාටුවෙන් සිහිපත් කර ඇත. කෙසේ වෙතත් මෙලෙස පීඩාවට පත් කළේ, කවුදැයි මේගන්ගෙන් විමසුව ද එය ප්‍රකාශ කළ හොත් ඔවුන්ට විශාල හානියක් වන බව පවසමින් ඇය ඊට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළා ය. හැරී කුමරු පවසා ඇත්තේ, සිය පුතුගේ සමේ පැහැය පිළිබඳ ප්‍රකාශය සිදු කළ අවස්ථාවේ තමා විමතියට පත්වූ බවයි. කෙසේ වෙතත් එම සංවාදය පිළිබඳ වැඩිදුර තොරුතරු හෙළි කිරීම ඔහු ද ප්‍රතික්ෂේප කළේ ය. මේ අතර සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ වින්ෆ්‍රි පසුව පවසා ඇත්තේ, එවැනි විමසීමක් සිදු කළේ, මහ රැජිණ හෝ එඩින්බරෝ ආදිපාදවරයා හෝ නොවන බවට හැරී කුමරු තමන්ට පැවසූ බවයි. තව ද සිය බිරිඳ මාධ්‍යය ඉදිරියේ මුහුණ දුන් වර්ණ භේදවාදය පිළිබඳ කරුණුවලදී රජ පවුලේ කිසිවෙක් ඇයට පක්ෂව කතා නොකළ බව ද හැරී කුමරු සම්මුඛ සාකචඡාවේදී සඳහන් කර  ඇත. පසුගිය වසරේ මුල් කාලයේදී රජ පවුල විසින් තමාට ලබා දෙන මූල්‍යමය ප්‍රතිපාදන කපා දැමූ බවත්  පසුව සිය පියා  තම දුරකතන ඇමතුම්වලට පිළිතුරු දීම පවා ප්‍රතික්ෂේප කළ බව ද හැරී කුමරු පවසා ඇත. සම්මුඛ සාකච්ඡාවේ දෙවන භාගයේදී හැරී කුමරු තම පවුලේ අනෙක් සාමාජිකයින් සමග ඇති ඔහුගේ සම්බන්ධතාවය ගැන අදහස් පළ කළේ ය. එහිදී ඔහු පැවුසවේ, සිය මිත්තණිය වන එළිසබත් රජිණ සමග තමාට ඉතා හොඳ සම්බන්ධයක් ඇති බවයි. කෙසේ වෙතත්, සිය පියා වන චාල්ස් කුමරු නිසා තමා හිත්වේදනාවට පත්වුව ද තමා පියාට බෙහෙවින් ආදරය කරන බවයි. හෝරා දෙකක පමණ කාලයක් තුළ විකාශය වූ මෙම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව තුළදී යුවළ ජාතිවාදය, මානසික සෞඛ්‍යය, මාධ්‍ය සමග ඔවුන්ගේ සම්බන්ධය සහ රාජකීය පවුලේ වෙනස්වීම යනු කරුණු පිළිබඳව ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළි කර තිබේ. කෙසේ වෙතත් හැරි - මේගන් යුවළ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී සිදු කර ඇති ආන්දෝනාත්මක හෙළි කිරීම් සම්බන්ධයෙන් බකිංහැම් මාළිගය මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

හැරී - මේගන් රජ පවුල හැර යයි..

2020 වසරේ මාර්තු මාසයේදී හැරී - මේගන් යුවළ රජ පවුල අත් හැර කැනඩාවේ පදිංචියට ගිය අතර ඔවුහු මේවන විට ඇමරිකාවේ කැලිෆෝනියා හී වාසය කරති. කෙසේ වෙතත් ඔවුන්  එවැනි තීරණයකට එළැඹි කාරණය එවක දී හෙළි නොකළ අතර, පසුව නිළ වශයෙන් ප්‍රකාශයට පත් කළේය. හැරි කුමරු සහ මිශ්‍ර ජාතික උපතක් සහිිිත මේගන්  මර්කල් අතර 2018   වසරේදී ය. 2019 වසරේදී ඔවුන් වැඩිමහල් පුතු වන අචි උපත ලබන අතර පසුගිය පෙබරවාරි 14 වනදා තම දෙපළ දෙවන දරුවා අපේකෂාවෙන් සිටින බව නිවේදනය කළේ ය. මේ අතර පසුගිය පෙබරවාරී 19 වනදා බකිංහැම් මාළිගය තහවුරු කළේ, හැරි - මේගන් යළි රජ පවුලේ සාමාජිකයින් ලෙස කටයුතු නොකරනු ඇති බවයි.