නීතිඥ රනිතා ඥාණරාජාට දිරිය කාන්තා සම්මානයක්

නීතිඥ රනිතා ඥාණරාජා මහත්මියට දිරිය කාන්තා සම්මානයක්

by Staff writer 09-03-2021 | 7:44 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ සිවිල් ක්‍රියාකාරිනියක වන නීතිඥ රනිතා ඥාණරාජා මහත්මියට අමෙරිකා එක්සත් ජනපදය, ජාත්‍යන්තර දිරිය කාන්තා සම්මානය පිරිනමා ඇත.

ඒ, ඇය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ක්ෂේත්‍රවල ප්‍රගමනය වෙනුවෙන් ලබා දුන් විශිෂ්ට දායකත්වය අගය කරමින්ය. අමෙරිකානු ජනාධිපති බිරිඳ, ආචාර්ය ජිල් බයිඩ්න් මහත්මිය විසින් ඊයේ(08) මෙම සම්මානය අන්තර්ජාලය හරහා  නීතිඥ රනිතා ඥාණරාජා මහත්මියට පිරිණැමූ අතර, ඊට අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා ද එක්විය. ඉන්ටර්නැෂනල් වුමන් ඔෆ් කරේජ් හෙවත් IWOC ලෙස හඳුන්වන ජාත්‍යන්තර දිරිය කාන්තා සම්මානය, ඉකුත් වසර 15 තුළ රටවල් 75 ක දිරිය කතුන් 155 දෙනෙකුට පිරිනමා ඇත. ලොව පුරා සාමය, මානව හිමිකම්, කාන්තාවන් සවිබල ගැන්වීම යන අංශවලින් සුවිශේෂ මෙහෙවරක් ඉටු කරමින් නායකත්වයක් පෙන්නුම් කරන, ධෛර්යවන්ත කාන්තාවන් අගය කිරීම මෙම සම්මානය පිරිනැමීමේ අරමුණයි. නීතිඥ රනිතා ඥාණරාජා මහත්මිය, බලහත්කාරයෙන් අතුරුදන් කරවීමෙන් පීඩාවට පත් පවුල්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පාදක කරගත් ප්‍රචණ්ඩත්වයට මුහුණ පා දිවි ගලවාගත් අය, ආගමික හා ජනවාර්ගික සුළුතර කණ්ඩායම් ඇතුළු ජන කොටස් වෙනුවෙන් ක්‍රියාකාරීව පෙනී සිටින්නියකි. අපයෝජන හා කාන්තා හිංසන පිළිබඳව පැමිණිලි කිරීමට යාමේදී කාන්තාවන්ට බාධාවන ආකාරයෙන් පොලිස් ස්ථානවල පවතින අඩුපාඩු හඳුනා ගැනීමට ඇගේ පර්යේෂණය ඔස්සේ හැකි වී ඇති බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය සඳහන් කර ඇත්තේ නීතිඥ රනිතා ඥාණරාජා මහත්මිය සහෝදර පුරවැසියන් සියල්ලන්ගේ යුක්තිය වෙනුවෙන් අතිමහත් කැපවීමක් පෙන්නුම් කර ඇති බවයි. ඒ තුළින් ඇය ශ්‍රී ලංකාවටත්, ලෝකයටත් ධෙර්යය පිළිබඳ මනා ආදර්ශයක් සපයා ඇති බව ද අමෙරිකානු තානාපතිනිය සඳහන් කළාය.