ජාත්‍යන්තර කාන්තා දිනය අදයි..

'රටකි - දැයකි - ලොවකි' යන්න තේමා කරගත් ජාත්‍යන්තර කාන්තා දිනය අදයි..

by Staff writer 08-03-2021 | 9:25 AM

COLOMBO (News 1st ) - අද 110 වැනි ජාත්‍යන්තර කාන්තා දිනයයි.

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව වන්නේ 'රටකි - දැයකි - ලොවකි' යන්නයි. මීට දශක ගණනාවකට ඉහතදී 1908 වසරේ මාර්තු 08 වැනි දින අමෙරිකා එක්සත් ජනපදයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවල සේවය කළ කාන්තාවන් පිරිසක් තම පැය දහසයේ සේවා මුරය පැය 10කට සීමා කිරීමේ අයිතිවාසිකම ලබාදෙන මෙන් ඉල්ලා නිව්යෝර්ක් නුවරදී වීදි ඔස්සේ පෙළපාළි ගියාය. එම සිදුවීමෙන් වසරකට පසුව එනම් 1909දී අන්තර්ජාතිකව ලෝක කාන්තා දිනයක් පිළිබඳ අදහසක් ලොව තුළ පැන නැඟුණි. නිල වශයෙන් කාන්තා දිනය සැමරිය යුතු බවට තීරණය කෙරුණේ, 1910 වසරේදී කෝපන්හේග් නුවර පැවැති රැස්වීමකින් අනතුරුවයි. එහිදී ඔවුන් තෝරාගත් දිනය පෙබරවාරි 28 වැනිදායි. එහෙත් 1910 කෝපන්හේග් නුවරදී රැස්වුණු අන්තර්ජාතික සමසමාජවාදීන් විසින් ලෝක කාන්තා දිනය ලෙස මාර්තු 08 වැනි දින නම් කළේය. මෙලෙස කාන්තා දිනයක් ප්‍රකාශයට පත් කෙරුණේ, කාන්තා අයිතීන් සුරැකීම සහ කාන්තා අභිවෘද්ධිය වෙනුවෙනි. ප්‍රථම සැමරුම කෝපන්හේග් නුවරදී පැවැති සමුළුවේදී සිදුවූ අතර අනතුරුව 1911දී ලොව රටවල් කිහිපයක ලෝක කාන්තා දිනය සමරනු ලැබුවේය. ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය එම රටවල් අතරට අයත් වේ. පළමු ලෝක යුද්ධය අවසාන වනතුරු කාන්තාවන්ට ඡන්ද අයිතිය හිමිව නොතිබූ අතර ඉන්පසුව ලොව බොහෝ රටවල කාන්තාවන්ට ඡන්ද අයිතිය හිමි විය. ලොව සියලුම රටවල කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දුන්නේ, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවීමත් සමගයි.