by Staff writer 08-03-2021 | 3:15 PM
COLOMBO (News 1st) – අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන මැයි 31 පැවැත්වීමට අද දින නියම කෙරිණ.
ඒ, නඩුව කොළඹ මහාධීකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවේ අද කැඳවූ අවස්ථාවේදී ය.
2016 පෙබරවාරි 28 වැනිදා රාජගිරිය ප්‍රදේශයේදී සංදීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයා රිය අනතුරකට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරනු ලැබු නඩුවට ඉදිරිපත් කිරීම සඳහා අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරිමේ අධිචෝදනා යටතේ නඩුව පවරා තිබේ.
එදින පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා එකේ සිට 5 දක්වා පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කෙරිණි.
20 වන සාක්ෂිකරු ලෙස නම් කර ඇති මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි යැවීමට ද විනිසුරුවරයා නියෝග කළේ ය.
නඩුව සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව එහිදී විත්තියේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්හ.